කොළඹ පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයේදී අතහැර දමා ගොස් තිබූ හිස වෙන් කළ කාන්තා මළසිරුර හා එම කාන්තාව ඝාතනය කළ තැනැත්තා පැය 24ක් යන්නටද මත්තෙන් අනාවරණය කර ගැනීමට කොළඹ මධ්‍යම පොලිස් කොට්ඨාසයට හා වේල්ල වීදිය පොලිසියට හැකි විය.
ඒ අනුව මෙම කාන්තාව ගෙල කපා මරා ඇගේ මළසිරුර බෑගයක දමා බස් රථයකින් කොළඹ වේල්ල වීදියට ගෙනවිත් දැමූ මියගිය තරුණියගේ පෙම්වතා බව කියන උප පොලිස් පරීක්ෂකවරයාද ඊයේ (03දා) අලුයම බඩල්කුඹුර, වෙහෙරගොඩ, 05 කණුව ප්‍රදේශයේ ඔහුගේ නිවෙස ආසන්නයේ පිහිටි රබර් ගසක එල්ලී ගෙල වැලලාගෙන මියගොස් සිටියදී බඩල්කුඹුර පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු මියගොස් සිටි ස්ථානයේ තිබී වස කුප්පියක්ද සොයාගෙන තිබිණි.
මේ වන විට මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදී පොලිසිය සැක කරන්නේ එල්ලී මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ හා මැරුම් කෑ පෙම්වතිය අතර ඇති වූ ආරවුලක් මත මෙම මරණ සිදුවී ඇති බවය. ඒ අනුව පොලිසිය පවසන්නේ මැරුම් කෑ තරුණියගේ ගෙල කපා ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ ඔවුන් නතරව සිටි දෙමහල් නවාතැන්පලේ 106 කාමරය තුළය.
ඇගේ ගෙල කපා දැමීම සඳහා ඇගේ පෙම්වතා විසින් උල් පිහියක් මිලදීගෙන ඇත්තේ හංවැල්ලේ සඳුදා පොළෙන් බවද අනාවරණය කරගෙන තිබේ. ඒ සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය කිරීමෙනි.
මේ අනුව එම සිදුවීමෙන් මැරුම් කා ඇත්තේ ලිනියාකුමාර දුලනිගේ දිලිනි යසෝධා ජයසූරිය නමැති තිස් හැවිරිදි තරුණියක් වන අතර ඇය මරා දැමූ බව කියන එල්ලී මියගොස් සිටි පුද්ගලයා උප පොලිස් පරීක්ෂකවරයකු වූ අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති පනස් දෙහැවිරිදි අයකු බවය. මියගිය තරුණිය රත්නපුර ආසනයේ යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික ලෙසද ක්‍රියා කර ඇත.
කෙසේ වෙතත් මොවුන් රැඳී සිටි හංවැල්ල ප්‍රදේශයේ හෝටලයද මේ වන විට පොලිසිය විසින් මුද්‍රා තබා ඇත. ඒ දින තුනක කාලයකටය. ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ එම කාමරයේ නාන කාමරය තුළ රුධිරය තිබී ඇති බවය. වැසිකිළිය හා මුහුණ සෝදන බේසමේ රුධිරය සහිත සලකුණු පොලිස් විමර්ශකයන්ට හමු වී ඇති අතර එම රුධිරය ඇති උපකරණ පොලිසිය නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ උපදෙස් මත බඩල්කුඹුර පොලිසියද විමර්ශනයක් ආරම්භ කර ඇත. එම පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතා පවසන්නේ මැරුම් කෑ තරුණිය මියගිය උප පොලිස් පරීක්ෂකවරයා සමඟ ඇති කරගෙන තිබූ ප්‍රේම සබඳතාව ගැන කියමින් උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරියටද නොයෙකුත් දුරකථන ඇමතුම් දී ඇති බවය. එමෙන්ම තවදුරටත් කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ එම තරුණිය විසින් මියගිය උපපොලිස් පරීක්ෂකවරයාට කරදර කරමින් ඇමතුම් දෙන බවක් මියයන්නට කලින් ඔහු සිය පවුලට පවා දන්වා ඇති බවය.
මෙම කරදරකාරීත්වය මත ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය සැක කරයි. එහෙත් මේ බව නිශ්චිත ලෙස පැවසීමට නොහැකි වී ඇත්තේ සිද්ධියට සම්බන්ධ දෙදෙනාම මියගොස් ඇති නිසා බවද පොලිසිය කියයි.
තරුණියගේ ගෙල කපා ඇගේ සිරුර කොළඹ වේල්ලවීදියට ගෙනවිත් දැමීමෙන් පසු ඔහු බඩල්කුඹුර සිය නිවෙසට ගොස් ඇති අතර පසුව කරන ලද පරීක්ෂණයේදී ඔහු විසින් තරුණියව ඝාතනය වන අවස්ථාවේදී හැඳසිටි ඇඳුම ගලවා දමා නිවෙසේ සඟවා තිබියදී සොයාගත් බවද සහකාර පොලිස් අධිකාරිවරයා කියයි. ඒ අතර ඔහු පැලඳ සිටි රබර් සෙරෙප්පුවක්ද වෙයි.
මේ අතර මේ පිළිබඳ සාක්ෂි රැසක් මේ වන විට සටහන් කර ගෙන තිබේ.
මියගිය උප පොලිස් පරීක්ෂකවරයා ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කර මීට මාස පහකට පමණ පෙර බුත්තල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ අතර සහකාර පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත ඔහු දූෂණ මර්දන රාජකාරියේ හා කොරෝනා රාජකාරිවලට යොදවා තිබේ. ඔහු 27 වැනිදා නිවාඩු ලැබ සිය බිරියට තමා පොලිස් වැඩමුළුවකට යන බව පවසමින් නිවෙසින් පැමිණ ඇතැයිද කියති.
මොහු සිය සිරුර පවත්වාගැනීම සඳහා කායවර්ධන ක්‍රීඩාවේ යෙදී ඇති අයකු වන අතර ඔහු පොලිස් බොක්සිං සංචිතයටද අනුයුක්තව ක්‍රීඩා කළ අයෙකි.
කෙසේ වෙතත් මෙම තරුණිය ඝාතනය කිරීමට උපයෝගි කරගත් පිහිය හා තරුණියගේ කඳෙන් වෙන් කළ හිස කොටස සොයා ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් මත වේල්ල විදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි ඇතුළු කණ්ඩායමක්ද මොනරාගල සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතාගේ මෙහෙයවීම මත බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති දිසානායක ඇතුළු කණ්ඩායමක්ද නුගේගොඩ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ මෙහෙයවීම මත හංවැල්ල පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති සුජිත් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.
මව්බිම
කීර්ති මෙන්ඩිස්, මොනරාගල - සංජීව බණ්ඩාර, බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන, ඔක්කම්පිටිය - ඉඳුනිල් අලුත්ගෙදර, කොළඹ - ජයසිංහ