සැකකාර තරුණයා කලක් තිස්සේ ඇබ්බැහි වී සිටිය දේ..?
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් කොළඹ නාගලගම් වීදියේ කඩකාමරයක පොල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය ඇතුළු ජනාකීර්ණ නගරවලට මත්කුඩු අලෙවි කළ 26 හැවිරිදි අවිවාහක තරුණයෙක් කොළඹ උතුර අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ කළ වැටලීමකදී මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 160ක් සහ මත්කුඩු අලෙවියෙන් උපයාගත් රුපියල් හාරලක්ෂ එකොළොස් දහසක මුදලක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර තරුණයා කාලයක් මුළුල්ලේම මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර සැකකරුගේ මව තම පුතා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලිසිය කළ කරුණු විමසීමේදී ඇය දන්නා තොරතුරු පොලිසියට හෙළිකර ඇත.
67 හැවිරිදි කාන්තාවක් වන ඇයට මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් අධ්‍යාපනය හදාරන 17 හැවිරිදි දියණියක් සිටින බවත් පොලිස් භාරයට ගත් තම පුතා මත්කුඩු කුඩා ප්‍රමාණයේ ඇසුරුම්වලට ඇසිරීමට සූදානම් වීමට පෙර තමා සහ තම තරුණ පාසල් යන දියණිය වැසිකිළියට දමා ෙදාර වසා දැමීම නිසා පැය දෙක - තුනක කාලයක් මවට සහ දියණියට කුඩා වැසිකිළිය තුළ සිටීමට සිදුවන බවත් ඇය අනුවේදනීය අන්දමින් ප්‍රකාශ කර ඇත.
ලද තොරතුරකට අනුව පොලිසිය නාගලගම් වීදියේ පිහිටි කඩකාමරයේ පොල් ගොඩක සඟවා තිබියදී මෙම මත්කුඩු තොගය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගන්නා බව වැටලීම සිදුකළ නිලධාරීහු පැවැසූහ.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත කොළඹ උතුර භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, ජේයෂ්ඨ පොලිස් අධිකාරි කොළඹ උතුර අංක 1 නෙරංජන් අබේවර්ධන යන උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කොළඹ උතුර අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත, පොලිස් සැරයන් කුලතුංග (47091), පොලිස් කොස්තාපල්වරුන් වන අසේල (50142), චමින්ද (70467) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුද මත්කුඩු සහ මුදල්ද අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය - කුසුම් එස්. හැන්නදි
මව්බිම