කුඩා ළමයකු ඇතුළු පුද්ගලයන් 10 දෙනකු සපා කෑ බල්ලකු විනාශ කිරීම සඳහා දහවල් කළුතර කටුකුරුන්ද වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පොලිසිය තැබූ වෙඩි පහරක් වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කරන ලදැයි දකුණු කළුතර පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ දකුණු කළුතර යොන් වීදියේ පදිංචිකරුවකු වූ අබ්දුල් හමීඩ් මොහොමඩ් හම්සා නම් වූ 60 හැවිරිදි අයෙකි.
බල්ලකුගේ සපා කෑමට ලක් වූ තිදෙනකු කළුතර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් පොලිසියේ නිලධාරීන් විසින් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී. සිංහබාහු මහතාට දැනුම් දී තිබුණේ ඉකුත් 26 වැනි දින රාත්‍රියේය.
ඒ අනුව ප්‍රදේශය භීතියට පත් කරමින් සැරිසරමින් සිටි මෙම සුනඛයා සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 26 රාත්‍රියේම උත්සාහ කළද සොයා ගැනීමට නොහැකි වී ඇත.
එම පැය කිහිපය තුළදී කළුතර ඥානෝදය මාවත, කළුතර නගරයේ ඇඟලුම් හලක් අසල සහ කටුකුරුන්ද ශ්‍රී ධර්මාරාම මාවතේදී සුනඛයා විසින් සපා කන ලද කුඩා ළමයකු හා කාන්තාවක් ඇතුළු 10 දෙනකු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබිණි.
ඒ අනුව කළුතර ජාතික විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී. සිංහබාහු මහතා විසින් 27 වැනිදා උදේ දකුණු කළුතර පොලිසියට ගොස් පැමිණිල්ලක් කරමින් කියා සිටියේ තවදුරටත් මෙම සුනඛයා පුද්ගලයන් සපා කමින් සැරිසරන හෙයින් වෙඩි තබා විනාශ කිරීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා උතුරු කළුතර පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ජයන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීන් සුනඛයා සොයා යෑමේදී කළුතර කටුකුරුන්ද වෙට්ටුමකඩ ප්‍රදේශයේ ගාලු පාරේදී හමුවී ඇත.
ඒ අනුව තැබූ පළමු වෙඩි පහර සුනඛයාට වැදී ඇති අතර පොලිසිය තැබූ දෙවැනි වෙඩි පහර ගාලු පාරේ වැදී ලිස්සා ගොස් වෙළෙඳසලක් ඉදිරිපිට සිටි පුද්ගලයකුගේ උරහිසට වැදී තුවාල වී තිබේ.
ඒ අනුව තුවාලකරු රෝහලට ඇතුළත් කර ඇත.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත, කළුතර ජේයෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනෙත් ශාන්ත මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
පයාගල - සුජිත් මාරියෝ, පොතුපිටිය - සුමිත් රණවක, කොළඹ - ජයසිංහ
මව්බිම