කාර්යබහුල ජිවිතයක් ගත කරන කුසල් මෙන්ඩිස් එක්ක විවාහ වුණු ඔබේ අලුත් ජිවිතේ කොහොමද කියලම මේ කතාබහට ආරම්භය ගනිමු..?
ආදරේ කරන කාලේ වගේම කුසල් ක්‍රිකට් එක්ක බිසී. ජාතික කණ්ඩායමට එකතු වෙලා එංගලන්ත සංචාරයකට සම්බන්ධ වෙලා මාස 4ක් මම එයාව දැක්කේ නැහැ. ඒ වගේ බොහෝ කල් එයාව නොදැක හිටපු දවස් තියෙනවා. ඇත්තම කිව්වොත් එයත් එක්ක වැඩිපුර කාලයක් හිටියට වඩා එයා ළඟ නොහිටිය කාලේ වැඩියි . විවාහ වුණාට පස්සෙත් එයා උදේ යනවා රෑට ගෙදර එන්නේ. කුසල්ගේ අම්මා තාත්තා එක්ක තමයි දැන් වැඩිපුරම කාලය ගත වෙන්නේ, ඒ වුණත් සතුටින් ජිවිතේ ගෙවනවා. මොකද පුළුවන් හැම මොහොතකම එයා මාත් එක්ක ඉන්න නිසා.
ඔහුත් එක්ක ආදරෙන් පැටලුණු පල්ලියේම විවාහ උත්සවයත් ගත්තා කියලා ආරංචියි..?
මිට අවුරුදු 8කට කලින් තමයි අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තේ. එතකොට මම උසස්පෙළ විභාගයට සුදානම් වෙන නිසා ගෙදරින් ලොකුවට ආදරයට අවසරය ලැබිලා තිබ්බේ නැහැ. කුසල් මට වඩා අවුරුදු 2ක් වැඩිමහල්. අපි දෙන්නගෙම ගම මොරටුව කඩොලාන. එහේ ශාන්ත ඇන්තනි පල්ලියට එයත් ආවා මමත් ගියා. එයා මගේ අක්කගේ වයසේ. අක්කවත් දන්නවා. එයා නිතරම පල්ලි එන්නේ නැහැ ක්‍රිකට් තරඟ හෝ පුහුණුවීම් තිබුණු නිසා. නමුත් sunday school එනවා. එතැනදී තමයි එයාව මාව දැකලා එයාගේ යාළුවෙකුට මම ගැන කියලා තියෙන්නේ. එයාගේ යාළුවා මගේ නෑදෑ වෙන කෙනෙකුට ඒ යෝජනව කියලා එයා මට කිව්වා. ඒ වෙද්දී එයා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටියේ. මම පාසල් යනවා. නමුත් එයාගේ යෝජනාවට මමත් කැමති වෙලා ආදරේ කළා. ආදරේ කරන්න කලින් මම එයාගෙන් අහන්න ඕන ප්‍රශ්න ටික ඇහුවා. ඒ වෙද්දී එයා ගැහැණු ළමයෙකුට ආදරේ කරලා තිබ්බා කිව්වා. ඒක මට ප්‍රශ්නයක් වුනේ නැහැ. ටික දවසයි ඒ ආදරේ තිබිලා තියෙන්නේ. මගේ ප්‍රථම ආදරේ තමයි එයා. ඒ නිසා අපි හිතුවා අපේ විවාහයත් අපි මුණගැස්සු පල්ලියේම කරමු කියලා.
ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැනගෙනද ආදරේ කරන්නේ, ඔහු කවදා හරි දවසක ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙයි කියලා ඔබ හිතුවද..?
එයා ක්‍රිකට් ගහනවා කියලා මුලින් දන්නේ නැහැ. මොකද මම ක්‍රිකට් වලට එච්චර කැමැත්තක් නැහැ. මම ක්‍රිකට් තරඟ නරඹන්නෙත් නැහැ. එයා 19 පහළ ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා පස්සේ මට කිව්වා. ඒ වගේම එයා මට කියලා තිබ්බා කවදා හරි දවසක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරලා ක්‍රීඩා කරනවා කියලා. මට නම් තේරුමක් තිබ්බේ නැති නිසා ඒ ගැන හිතුවේ නැහැ. අපි දෙන්නා ආදරේ කරලා ටික දවසක් යද්දී එයාගේ ඒ බලාපොරොත්තුව ඉටු වුණා. මටත් ඒ ගැන සතුටුයි. නමුත් අදටත් මට ක්‍රිකට් ගැන එච්චර දැනුමක් නැහැ. මගේ තාත්තා නම් ඒ කාලේ ඉදලම ක්‍රිකට් තරඟ නරඹනවා.
ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ කාර්යබහුල පුද්ගලයෙක්, ඒ වගේ පුද්ගලයෙක් එක්ක විවාහ වෙනවට ඔබේ දෙමාපියන් කැමති වුණාද..?
මම උසස්පෙළ විභාගය කළාට පස්සේ කුසල්ගේ දෙමාපියන් හා අපේ දෙමාපියන් අපේ ආදරේට අවසර දුන්නා. විවාහයටත් ආශීර්වාද කළා. එහෙම කුසලට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. පුද්ගලයෙක් විදිහට කුසල් හොදයි. ඒ වගේම එයාගේ දෙමාපියන් හොඳයි. විවාහ ජිවිතයකට වැදගත් වෙන්නේ ඒවා. ඒ නිසා අකමැති වුණේ නැහැ. ඒ වගේම එයා ජාතික කණඩායමට ඇතුලත් වෙලා ක්‍රීඩා කළ මුල් තරඟ දෙක මම නැරඹුවෙත් හොරෙන් හොරෙන් තමයි. පළමු තරඟයේ ලකුණු 176ක් ගත්තා.
ඔහු ජාතික කණ්ඩායමට එකතු වෙලා ජනප්‍රිය ක්‍රීඩකයෙක් වෙද්දී ඔබට ඔහුගේ ආදරේ අහිමි වෙයි කියලා බයක් හිතුණේ නැද්ද..?
අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත කාලේ ඉදලා එයා ක්‍රිකට් එක්ක කාර්යබහුල වෙලා හිටපු නිසා එයාට වැඩිපුරම මාත් එක්ක ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ වගේම ආදරේ කරලා ටික කාලයක් ගියාට පස්සේ දෙමාපියන් විවාහ වෙන්න කැමැත්ත දුන්නු නිසා මට කුසල් ගැන පුංචි සැකයක්වත් දැනුනේ නැහැ. එයා ජනප්‍රිය වුනාට පස්සේ මාව අමතක කරයි කියලා හිතුනෙවත් නැහැ. අදටත් එහෙම හිතෙන්නේ නැහැ. ඒ තරම්ම අපේ බැඳීම ශක්තිමත්.
කුසල්ට ඒ කාලේ ඉදලම ගැහැණු ළමයින්ගෙන් ප්‍රතිචාර ලැබෙද්දී මිෂෙල්ට ඊර්ශ්යවක් හිතිලම නැද්ද..?
එයා තරඟ කරන ඇතැම් තරඟ නරඹන්න මම ගිහින් තියෙනවා. කුසල් ලකුණු 4 හෝ 6 ගහද්දි ගැහැණු ළමයි මම ඉස්සරහම I Love U කියලා කෑගහලා තියෙනවා. එයාට ගැහැණු ළමයි ගොඩක් ආදරෙයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව හැමෝගෙම ආදරේ ලබන්න හැම කෙනෙකුටම බැහැ. ඒ වාසනාව එයාට ලැබීමම ලොකු දෙයක් හැටියටයි ම,මම හිතන්නේ. මම සතුටු වෙනවා මිසක් ඊර්ශ්‍ය කරන්නේ නැහැ. එයාගේ උපන්දිනයට තෑගී එනවා. උපන්දින කාඩ් එනවා. ඒ සුබ පණිවිඩ එයා කියවලා මටත් කියවන්න දෙනවා. මම ආසාවෙන් ඒවා කියවනවා. චුට්ටක්වත් අවුල් වෙන්නේ නැහැ. එයා ඉතින් මගේ කියලා මම දන්නවනේ. ඒ වගේම විවාහ වෙනකල් ලගින් ආශ්‍රය කල අය හැර බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ මම එයාගේ පෙම්වතිය කියලාවත්.
කුසල්ට පහුගිය කාලේ සමාජ මාධ්‍යවලින් විවිධ ප්‍රතිචාර දැක්වුවා. ඒ ප්‍රතිචාර ගැන ඔබට මොකද හිතුණේ..?
හොඳ කළත් නරකක් කළත් එක එක ප්‍රතිචාර ඕන කෙනෙකුට එනවා. මම නම් ඒ ගැන හිතන්නේ නැහැ. ඒ ප්‍රතිචාරවලට ඉස්සර එයා දුක් වෙද්දී මමත් දුක් වෙලා තියෙනවා, දැන් නම් එයා හිතන්නේ නැහැ. මම ඒ ගැන හිතන්නෙත් නැහැ.