“ශයිනි” කියන්නේ එතනින් එක “හැබෑවක්” විතරයි. හරියට මට පේන්න ඉන්නවා නොවුණත් ඒ ගැහැනිය මවන්න ගන්න “සාහසික ඇත්ත” ඉදිරියේ මම ගොලු වෙනවා. ටිකකින් හෑන්ඩ්ස් ෆ්‍රී දෙකට වද බන්ධන දෙනවා.
“ඔයා රෝෂිණිට මොකද්ද කළේ..? ඔයාගේ ජිවිතේ අනිත් පැත්ත පෙරළපු වදකාරිට..?” අපි ආයෙමත් “වට්ස්ඇප්” ඇමතුමක් ඇතුළේ සිරගත වුණා. ටිකකින් ඇගේ හඬ හීනියට සිග්නල් කණු ඇහිඳගෙන මේ දිහාවට ආවා... පන්නිපිටිය පැත්තෙන්..... මහරගමට කිට්ටුවෙන්.... අන්තිමට.... නුගේගොඩ හරියේදී... (හරියටම ගුවන් පාලම යටදී.) මට ඈව ඇහෙන්න ගන්නවා. (මේ පාර ඒ හඬ අතිශය පැහැදිලියි.)
“මම ඒකි එන වෙලාව වෙනකන් ඇඟිලි ගැන්නා. හරියටම ඒ ගෑනී මගේ කාමරේ දොර රෙද්ද මෑත් කරද්දි මම ඒකිව ඇඳේ මුනින් අතට පෙරළගත්තා. ඒ වෙලාවේ මට ආපු තරහා, වේදනාව... මට මැවිලා පෙණුනා... මේ හැතිරි මගේ ජීවිතේ මම එපා කියද්දි විනාශ කරපු හැටි... මට මගේ ආදරේවත් හරියට විඳින්න දුන්නේ නැති එකියක්.. කොටින්ම මාව මුළු පරම්පරාවක් ඉස්සරහා ලැජ්ජාවට පත් කරපු එකියක්. මට මේකිව පිළිකුල්... මම පිහිය උලුක් කළා ඒකිගේ ඇස් ගාවට... ඒකි අමාරුවෙන් කෙළ ගිලින හැටි මට පෙණුනා යන්තමට.....”
නෝට් බුකියේ කොළ එක දෙක ඉවර වේගෙනයි යන්නේ. මම රෝද තුනෙන් බැහැලා ඇවිත් තවත් එකෝමත් එක “ටී බ්රේක්” එකකින් පස්සේ, මේ “අමුතු කතාව” දිහාවට සේන්දු වුණා. (දෙයියනේ!! ඒක දැනටමත් මාව පිස්සු වට්ටලා තියෙන්නේ.)
“උඹ මගේ ජීවිතේ විනාශ කළා. මගේ හැමදේම විනාශ කළා. උඹට ඔලුවක් කියලා එකක් නැද්ද ගෑනියේ..? උඹ කොහොමද මට ආදරේ කරන්නේ..? උඹත් කෙල්ලෙක්.. මාත් කෙල්ලෙක්.. තේරුම් ගනින් කියන දේ.... උඹ හින්දා මට මගේ ආදරේ නැතිවුණා. මගේ අම්මලා නැතිවුණා. තාත්තී මූණ බලන් නෑ. උඹට දැන් සතුටුද..? උඹ මාව ලෙව කෑවා පුළුවන් තරම්.. මගේ ඊරී මාංශ උරා බීවා උඹට ඕනෑ හැටියට.. තව මොනාද උඹ මට කරන්න ඉන්නේ... සීරියස්..? උඹ මාව කසාද බඳින්නද යන්නේ..? ෂා... ලස්සනට තියෙයි... මේ අහපන්...!! ආයෙ පාරක් උඹ මට වද දීගෙන ආවොත්...? මම මෙන්න මේ උඹේ ඇස් දෙකට මේ පිහියෙන් අනිනවා ජීසස් ප්‍රොමිස්...!!”
“දෙයියනේ...!!” මට ඒ භයානක ඇත්ත කතාව ඇස් ඉස්සරහා මැවුණා. ඒක හරියට ත්‍රාසජනක චිත්‍රපටියක් වගෙයි. (ඇත්තටම මේක මවා පෑමක්ද..?) “මට මේක විශ්වාස කරන්න බැහැ...”
“රෝෂිණි අක්කගේ කම්මුල් දිගේ කඳුළු... මම ඒත් පිහිය මානගෙන හිටියා. ඒකිට නැගිටින්න නොදි. ඒ වෙලාවේ මම ඕන දෙයක් කරන්න සුදානමින් හිටියේ. එක්කෝ මේ ගෑනිව මරලා හිරේ යන්න වුණත්... ඒ වෙද්දි මට අවුරුදු දහ අටයි...!! හිරේ දැම්මොත් අවුරුදු ගාණකට, මට නිදහසට කාරණා ඕනෑ තරම් තියෙනවා. ඇත්තටම මම ඒ වෙද්දි හිතින් ඒවා හදාගෙන කරගෙන ඉවරයි. දැන් ඕන දේකට මම ලෑස්තියි.. මම මේ ගෑනිව සඳහටම මේ ලෝකෙන් තුරන් කරනවා..!!”
“එකපාරම දොර කඩාගෙන අම්මි ආවා... එයා දැක්කා සිද්ධ වෙන දේ... මහා හයියෙන් කෑ ගහපු එයා මාව බදාගත්තා. මම පිහිය අතඅරින්නේ නැතුව අත් මිටට ගුලිකරගත්තා. ඒකට මගේ ඇඟිලි දෙකක් කැපිලා ලේ ගලන්න ගත්තා. අම්මා අර හැතිරිට අත් දෙක එකතු කරලා වැන්ඳා, මෙහෙන් යන්න කරුණාකරලා, දැන්ම යන්න.. මේ කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න, කියලා.. රෝෂීණි අක්කා වචනයක්වත් කිව්වේ නෑ, එයා ගියා.. ඔව්..!! යන්නම ගියා..... අම්මා මගේ තුවාල වෙච්ච අත එයාගේ කටේ ඔබාගෙන මාව පපුවට කරගත්තා. එදා මම හිතේ හැටියට ඇඬුවා...”

ඈ “ටයිටැනික්” හීනෙක තනිවුණා. තද අයිස් කුට්ටියක් ඒ මතුපිට ඉඹගන්න කලින් ඉඳන්ම, ඈ ඒ “වයිලීන්” හඬට සමවැදිලා හිටියා. මම පුදුමයෙන් වගේ ආයෙම මගේ අපැහැදිලි “කුරුටුබලි” දිහා බැලුවා. නොතේරෙන වචන හෑලී ගොඩක්..... මේක මට ගළපන්න අමාරු වෙයි. (කොටින්ම වැලන්ටයින්-වලට කලින් නම් කොහොමත් බෑ.)
“ඔයාට රෝෂිණී ගැන දුක හිතුනේ නැද්ද ටිකක්වත්.... එයාට එහෙම දෙයක් කරන්න තරම් හිත දුන්නේ කොහොමද...?”
“මට දුක හිතුණා.. දෙයියනේ කොයි තරම් දුක හිතුණාද.. එයා මට කියලා නිදහසක් නොදෙනකොට, හැමවෙලේම මාව හොයන් එනකොට.. මගේ ෆෝන් එකේ මැසේජස් චෙක් කරනකොට.. දෙයි හාමුදුරුවනේ..!! මම ඉවසුවාට මට දෙන්න ඕනි නොබෙල් තෑග්ගක් ඒකට.. මම කලින් වතාවේ සත්තකින්ම හිත හදන් හිටියා මගේ ශරීරෙම එයාට පූජා කරන්න. ඒත් මම දැනගත්තා, එයා-ගේ ආදරේ ඕවර් යන විත්තිය. ඒක මට දරාගන්න බැහැ. ඒක මාව මාර විදිහට රිද්දන්න ගන්නවා. මම හැම දවසක්ම කළේ අඬපු එක. මට යාළුවෝ හිටියේ නෑ. කෙල්ලෙක් එක්ක මම ක්ලෝස් වුණොත් එයාට සැකයි මම ලෙස්බි සීන් එකට යන්න හදනවා කියලා. කොල්ලෙක් එක්ක ෆිට් වුනොත් එයා ඒකටත් බය වෙනවා. කොහොමද මම එයා එක්ක ඉන්නේ කියන්න.. ඒකයි මම තීරණය කළේ.. වැඳලා කරලාවත් ගියේ නැති ගෑනිව යවාගන්න හොඳම විදිහ ඒක කියලා මම හිතුවා....” ඇය නිසොල්මනේ නැවතුණා. මම හිම කැබලි විසිරිච්ච ඉතාලි රටේ පින්තූර දෙක තුනක් අතරේ අතරමං වුනා. ඒ හැම එහෙකම ලියලා තිබ්බ අමුතු අකුරු මට තේරුම් ගන්න බැරිවුණා...
“ඇයි මේ කතාව කියන්න හිතුවේ..........?” මම ඇහුවා. ඈ පුංචි වෙලාවක් ගත්තා.
“මම මැරි කළා ගිය අවුරුද්දේ. මගේ හස්බන් වුනේ ඉස්කෝලේ කාලේ ලව් කරපු කොල්ලා නම් නෙවෙයි. ඒත් හස්බන් වුන කෙනා මට ආදරෙයි. කිසිම අඩුවක් කරන් නෑ. හැමදේම දෙනවා මට.. මම රෝෂිණි අක්කා ගැන හෙව්වේ නෑ කවදාවත්. ඇත්තටම මට උවමනාවක් තිබුණේ නැහැ. මට එයාව පිළිකුල් වෙලයි හිටියේ.. දවසක් අහම්බෙන් වගේ මට දන්නේ නැති කෙනෙක් මැසේන්ජර් වලින් මැසේජ් කරලා තිබුණා. ඒකේ තිබුනේ ලොකුම ලොකු නිසඳෙසක්. අර ඉස්සරම රෝෂිණි අක්කා මට ලියපු ඒවා මට මතක තිබුණා. ඔව්! ඒ එයා.... මම එයාගේ ෆේස්බුක් එකට ගියා. එයා තාම තනියෙන්...!! කඳු නඟිනවා. කූඩාරම් වල ඉඳගෙන.. එයා සමහරක් විට ජීවිතේ විඳිනවා කියලයි මම හිතුවේ. ඒත්.... එයා එක්ක තනියට එක කෙල්ලෙක්වත් හිටියේ නෑ. අදටත් එයාට පාට්නර් කෙනෙක් නෑ. එයා ඒක මට අර නිසඳෙස ඇතුළේ කියලා තිබුණා. මගේ වෙඩින් ප්‍රී ෂූට් එකේ ඉඳලා හැම දවසක් ගැනම එයා විපරමින් ඉඳලා. මං දිහාම බලාගෙන....”
“එයාට ඔයාව අමතක කරන්න බැරිවෙලා...”
“මම කලින් දැනන් උන්නා වගේම රෝෂිණී අක්කාගේ ආදරේ ගැඹුරු එකක්. එයා මට ඇත්තටම ආදරේ කළා. අද ඔය ආතල් එකට කෙල්ලෝ කීයක් එක්ක ආවා ගියත්, එයාට මාව අමතක කරන්න බැහැ. මම ඒක හොඳටම දන්නවා. අසම්මතයක් වුණත්... නොවුණත් මට ඒ දවස් මතක් වෙද්දි ඉවසන්න බැහැ. මම ඒ දවස් වින්ඳා. අදටත් රොමෑන්ස් ෆිල්ම් එකක් බලද්දි හස්බන්ටත් කලින් මගේ හීනවලට එන්නේ රෝෂිණී අක්කා. මට වෙලාවකට හිතෙනවා එයා මට හූනියමක් කරලාද කියලත්... ඒත්.... මම හිත හදාගන්නවා. මම මගේ අම්මිව තාත්තිව යාළු කරගත්තේ අමාරුවෙන්.. එයාලා මට ආදරෙයි. තව දුරටත් ලෝකෙට විහිළුවක් නොවී මම බඳින්න තීරණය කළේ ඒකයි...” ඈ අඬනවා. මට එහෙම හිතුණා. ඇගේ හඬ කලින්ට වඩා හෙමින් ඇහෙන්න ගනිද්දි... මම ඈට හිතේ හැටියට අඬන්න දුන්නා.

“ම්ම්ම්ම්.... හස්බන් දන්නවද මේ ගැන..?”
“අපොයි නැහැ.. එයා කවදාවත් දැනගන්න එකකුත් නෑ. මම කියලත් නෑ. කියන්නෙත් නෑ. ඒත්.. මම රෝෂිණි අක්කාගේ දිහා බලාගෙනයි ඉන්නේ. එයා මං දිහා බලාගෙන ඉන්නවා වගේම... මට ඕනි වුනේ මේ කතාව කියලා හිත නිදහස් කරගන්න...!! මේ ආදරේද මොකද්ද කියන්න මම දන් නෑ. ඒත් ඒක අමතක කරන්න බැරි හැඟීමක්.. වෙලාවකට මානසික වදයක්. තාමත් එයා මගේ හිතේ ජීවත් වෙනවා හරි පරිස්සමට...”
මම ඈව අඬවන්නේ නැතුව ඉන්න හිතුවා. ටිකකින් මගේ “ස්තුති ප්රශංසාවන්” සේරම අහවර වුණාට පස්සේ, “ඒක ගළපගන්න පුළුවන්ද?” කියලත් ඈ බෝම කාරුණිකව ඇහුවා. මම ඈට කම්මුල් රතු පාට වෙච්ච, ඇස් ගෙඩි ලොකු කරගත්ත “ඉමෝජියක්” තෑගී විදිහට යැව්වා...