“ඒක හුඟක් දරුණු මට්ටමට යනකන් මට තේරුණේ නැහැ.” “මගේ අම්මිගේ මූණ බලන්න බැරිවුණා මට... එයාලා මාව ස්කූල් එකෙන් අස් කරගත්තා...”මෙම කතාවේ පළමු කොටස සඳහා මෙතනින් පිවිසෙන්න“මට මේ කතාව හරියට ගළපන්න තේරෙන්නේ නැහැ...” ඈ තැනක නවතින්න තනනවා. දුරකථනයක් ඇතුළේ
“බෙරිහන් දෙන්න” ගන්න එකාලාගේ හැඩ හුරුකම් මට ඡායාවක් වගේ පේන්න ගන්නවා. මේ අතීත හෙවනැළි කන්දරාව ඕනෑවටත් වඩා කරදර කරද්දි මම ආකාසේ දිහාවට ඇඟිල්ල උලුක් කරනවා.
“ඉතින්.... දැන් මොකද වෙන්නේ ඔයාගේ රෝෂිණී අක්කට...” ඈ ඒ කියන්න පටන් ගත්තූ කතාවේ මුල් පරිචය හොයාගෙන ආයෙම මිටියාවත් දිගේ දිව්වා. දැන් එහේ හරියට හිම පතනය වෙලා, හිම කැටි බේරෙන අත් කූඩ යටට වෙලා ඈ ඒ ඇස් මවන්න ගන්නවා. අතීත රූපරාමු දිගේ... සුදු කළු වර්ණිත තහඩු දිගේ... යන්තමින් පේන්න ගන්න කතාවක්.....
ඒ කතාවට තාම නමක් නෑ.
(මම “සමලිංගික ආදර කතාවක්” කියලා නම් කෙරුවට!!)“එයාව එළවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මට. ඒත් දෙයියනේ මගේ කොල්ලා.. මම කොහොමද ඒ හාදයාට මූණ දෙන්නේ...? මම කොහොමද එයාව අත අරින්නේ...? සත්තකින්ම! ඒ කොල්ලා එක දවසක් ඇතුළත දුන්නු දේවල් හුඟයි. මට බෑ එයාව අත අරින්න. මම රෝෂිණි අක්කට ඒ ගැන කිව්වා. එයාගේ ඇස් දිහා බලාගෙනම කිව්වා. එයාගේ හිත අතගාන්න බැරි තැන, එයාව පපුවටම කරගෙන කිව්වා. මම දන් නෑ එයා මට ඇහුම්කන් දුන්නද කියලා. එයාගේ තොල් වේගයෙන් වෙව්ලනවා. කන් වලින් දුම් පිටවෙනවා. පරණ කාටූන් එකක දූෂ්ඨකම් කරන මායාකාරියක් වගේ එයා මාව ගිලින්න හදනවා... සීරියස්ලී...!! එයාට මං ගැන චුට්ටක්වත් අනුකම්පා හිතුණා කියලා මම හිතන් නෑ...”
“සීරිස්” එක අතරමඟකදි ගැහැනියක් හතිලන්න ගන්නවා. මම
“ලිෆ්ට්” එකෙන් පහළට ඇවිල්ලත් ඈ වෙනුවෙන් තව පැය භාගයක් වෙන් කරන්න තීරණය කරනවා. ඊටත් පස්සෙ “වාසනා” අයියගේ
“බයික් කටුවට” බර දීලා මම ඈට මේ දිහාවට අඬ ගහනවා.
(ඕ මයි ගෝඩ්!! වැස්සක් වහින්න හදන්නේ..!!)“රෝෂිණි අක්කා මාව පොළඹවා ගත්තා. ඒ කොල්ලා දීපු හැමදේම එයාට දෙන්න බැහැ. ඒත්... එයාට ඕනි වුණා මම ඌ ළඟට යන එක නතර කරගන්න. එහෙමයි මේ කතාව පටන් ගන්නේ. අපි දෙන්න හැමෝම දන්න කියන ලෙස්බි කපල් එකක් බවට පත්වුණා. හැමෝම අපි ගැන කතාවුණා. ආෆ්ටර් ස්කූල් අපි දෙන්නා පිස්සු නටන ඒවා හැමෝටම පුරුදු දර්ශනයක් වුණා. රෝෂිණි අක්කා මිට කලින් කෙල්ලෝ එක්ක මෙහෙම හැසිරිලා තියෙනවද කියලා මම දන් නෑ. ඒත්.. මම දන්න කාලෙක ඉඳන් එයාට මං තරම් ක්ලෝස් කෙනෙක් ඉඳලා නැහැ. මම ඒ ගැන එයාගෙන් අහලත් නෑ. ටිකෙන් ටික මට තේරුණා මේ සම්බන්ධය ඒ තරම් හොඳ එකක් නොවන විත්තිය... ඒක හුඟක් දරුණු මට්ටමට යනකන් මට තේරුණේ නැහැ. රෝෂිණී අක්කට කැමති නොවුණත්... මට ඕනි වුනේ වෙනස්ම දිහාවකට යන්න. නිදහසේ ඉගිල්ලෙන්න. හරියට කුරුල්ලෙක් වගේ. ඒත් එයා මට වද තිස් දෙකම දුන්නා... මගේ නිදහස නැති කළා. කොටින්ම මගේ ෆෝන් එකට එන මැසේජ් පවා චෙක් කරන්න ගත්තා.”“ඉතින් ඔයාට මේ සමලිංගික ආදරේ තිත්ත වෙන්න ගන්නවා...” මම වැහි අනෝරාවට සුදානම් ශරීරයෙන් තවත් පාතට බෑවුම් වුණා. දැනටම හෙල්මටයෙන් වැහිච්ච
“ඔලු කට්ට” ආරක්ෂිතද කියලා මම ආයෙම පරීක්ෂා කෙරුවා. “සිකියුරිටි” එකෙන් විධානයක් දෙන්නත් කලින්ම මම අහකට පැනලා “ශයිනිගේ කතාවේ” ඉතිරි හරිය අහන්න සුදානම් වුණා.
“ඔව්... එයා මගේ සම්පූර්ණ නිදහස නැති කළා. මට ආවේ තරහක්.. දුකක්..!! මේ ගෑනි මාව මරන් කාපු නැති එක විතරයි.. මම එයාට වෛර කරන්න ගත්තා... මම එයාව මඟ අරින්න ගත්තා...”
“මම හිතන් නෑ.. එයා ඒකට ඉඩ දුන්නා කියලා..?”“ඔව්...!! එයා ඒකට ඉඩ දුන් නෑ. එයාට ඉක්මණින් තරහා යනවා. මම කොල්ලෙක් එක්ක කතා කළත් උගේ වතගොත හොයාගෙන හිතුණොත් හොම්බටත් ඇනලා තමා එන්නේ. ඒ වගේ චරිතයක්.. මම දැනගත්තා, මේක මගේ ජීවිතේට තර්ජනයක්...” ඈ සුසුම්ළන හඬ. මම ප්‍රශ්න අහන වෙලාව...
“ඔයා ඒ කියන්නේ එයාගේ ආදරේ වින්ඳේම නෑ.. ඔයාට මොහොතක්වත් හිතුණේ නැද්ද මේ හැම වද බන්ධනයක්ම ඔයාට තියෙන ආදරේ නිසා කියලා...”“මඟුල තමයි...!! මම දන්න විදිහට ආදරේ කියන්නේ කැපකිරීමක්.. ඇත්තටම එයා මුලින්ම අඬද්දි, මාව ඕනිම කියලා කෑ ගහද්දි, මම හිතුවා ඒක සහෝදර බැඳීමක් වෙන්නැති කියලා. ඊටත් වඩා තද බැඳීමක් කියලා. ඒත්..... එහෙම තද බැඳීමකටත් එහා ගිය ගැඹුරක් ඒකේ තිබුණා. එයා මාව බදාගන්නකොට වුණත් මම හිරිවැටිලා යන්නෙ ඒකයි. ඉතින් මම අන්තිමට හිතුවා මේ මගේ ඉරණම බව.. මම මේ කෙල්ල එක්ක ජීවිතේ විඳින්න ඕනි බව... සංස්කෘතියට ඕනෑ අටමඟලයක් වෙන්න කියලා, මේ කෙල්ල එක්ක, මගේ රෝෂිණි අක්කා එක්ක මුළු ජීවිතේම ඉන්න ඕනි බව...”“ම්ම්ම්ම්....?” ප්‍රශ්නාර්ථ ලකුණු... එකක්..? දෙකක්..? සමාවෙන්න! තුනක්ම..?
“ඒ විදිහට හිත හදාගෙන මම ඒ ආදරේ වින්ඳා. එයා මට ආදරෙයි, මම නෑ කියන් නෑ කවමදාවත්... ඒත්.. මම කැමති වුනේ නෑ එයාගේ වෙනස් වීම්වලට.. මට දාන වැට කඩුළුවලට. මම ආස වුනේ මාව ආදරෙන් රැක බලාගන්න රැකවලෙක්ට විතරයි. නැතුව මට අණ දෙන හිට්ලර් කෙනෙක් නෙවෙයි. අපි ඒ දවස්වල ආදර කවිත් ලිව්වා. ඒ හැම එහෙකම මම එයාට කිව්වේ, මගේ රැජීනිය කියලා. එයා මට කිව්වේ සුරංගනාවී කියලා. අන්තිමට ඒ සුරංගනාවී යක්ෂාවේස වුණා. අපේ සම්බන්ධේ ගැන ගෙවල්වලට ආරංචි වුනේ හිතුවෙවත් නැති විදිහට. මගේ අම්මිගේ මූණ බලන්න බැරිවුණා මට... එයාලා මාව ස්කූල් එකෙන් අස් කරගත්තා...”
“ම්ම්ම්.. එතනින් කතාව ඉවරයි...?” මම නැවතුණා, වැහි බීරුම බලාගෙනම!
“නැහැ..... රෝෂිණී අක්කා ගෙදර ආවා අපේ. මාව ඉල්ලලා ඇඬුවා. මගේ අම්මා එයාට දොස් කිව්වේ නෑ. අම්මි දැනුම් තේරුම් තියෙන කෙනෙක්. එයා රෝෂිණී අක්කට තත්ත්වේ තේරුම් කරලා දුන්නා. ඒත් මෙයා නැවතුණේ නැහැ.....”“පස්සේ......?”“මම තීරණයක් ගත්තා, ඒකිව මරන්න... මාව ලැජ්ජ කළාට.. මගේ මුළු පවුලම ඉස්සරහා... මගේ රත්තරන් තාත්ති ඉස්සරහා.. අම්මි ඉස්සරහා... මුළු ඉස්කෝලයක් ඉස්සරහා.. මාව ලැජ්ජ කරපු පරට්ටි... මම ඕකීව මරනවා... මම හිතාගත්තා...!! ඒකට සුදානම් ශරීරෙන් මම පිහියක් ළඟ තියාගෙන හිටියා. ඒකි ආයෙම බලෙන් ගේට්ටුව ඇරන් ඇතුළට එනකන්.....!!”“වට්...................?” මගේ අතින්
“බටර් ජෙල්” පෑන අතෑරුණා. වැස්ස මහා හයියෙන් වැටුණා. මම ඉක්මණින් බස් හෝල්ටුව හොයාගෙන දිව්වා.
“ඉතිරිය පස්සෙ.................” ඇගේ හඬ යන්තමින් ඇහුණා. දුරකථනය විසන්ධි වුණා.
ඉතිරි කොටස හෙට.....By Samitha Lakshan
(මෙම කතාවේ එන ඇතැම් නම් ගම් හා සිදුවීම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කර ඇති බව කරුණාවෙන් සලකන්න.)