කුසල් මෙන්ඩිස් කියන්නේ නිරන්තරයෙන්ම විවේචනයට ලක් වෙන ක්‍රීඩකයෙක් නමුත් කාලයක් ඔහුගේ දක්ෂතා එක්ක ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඔහුට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වෙලා හිටියා. පරාජය වීමට නියමිතව තිබු තරඟ බොහොමයක් ඔහුගේ පිත්තේ දක්ෂතා නිසා ජයග්‍රහණ කරන්න හේතුවක් වුනා. ටෙස්ට් තරග 47 ක් , ඉනිම් 91 ක් , ලකුණු 3022ක් . ශතක 7ක් අර්ධ ශතක 11ක් ලබා ගත් ඔහු වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ලකුණු 196ක් ලබාගෙන තිබෙනවා. එක්දින තරග 76, ඉනිම් 74යි ශතක 2ක් හා අර්ධ ශතක 17 වැඩිම ලකුණු 119ක් ලබා ගත් ක්‍රීඩකයෙකුද වෙනවා. විස්සයි විස්ස ක්‍රිකට් තරග 26යි ඉනිම් 26යි ලකුණු 484 අර්ධ ශතක 5යි, වැඩිම ලකුණු 79 ක් ලබා ගත් ඔහුට අද විශේෂ දවසක්. ඒ ඔහු විවාහ දිවියට ඇතුලත් වීම. ආදරණිය පෙම්වතිය මිෂෙල් ප්‍රනාන්දු ආදරණිය බිරිඳ කරගත් අද දවස හා ඔහුගේ ක්‍රීඩා ජිවිතේ ගැන ඔහුගේ ආදරණිය පියා දිනේෂ් මෙන්ඩිස් අපිත් එක්ක කතාබහ කළේ මෙලෙසිනුයි.
අද ඔබේ ආදරණිය පුතණුවන්ගේ ජිවිතයේ තවත් සුබ දවසක්, ජිවිතේ අලුත් පිටුවක් පෙරළෙනවා, පියා හැටියට අද දවස ඔබටත් විශේෂයි..?
පුතාගේ වයස අවුරුදු 26යි. පොඩි පුතා දැන් ලොකු ළමයෙක් කියලා හිතෙනවා. අද පුතාට වගේම තාත්තා විදිහට මටත් අද දවස විශේෂ දවසක්. පුතාගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වෙන්නේ. කසාද ජිවිතේ සාර්ථක කර ගනියි. පුතා විවාහ වෙන්නේ මිෂෙල් දුවත් එක්ක. පුතා එක්ක දුව සතුටින් ජිවත් වෙයි. අද දවස මගේ ජිවිතේ සතුටුම දවසක් කිව්වොත් හරි.
පුතාගේ පුංචි කාලේ මතක ගැන දන්න හොඳම කෙනා ඔබ, ඒ මතක ගැන කිව්වොත්..?
පුතා ක්‍රිකට් වලට කැමති අවුරුදු 3 ඉදලා කියලා මට තේරුනා. මම තමයි පුතාට පුංචි කාලේ ක්‍රිකට් ගහන්න ඉගැන්නුවේ. ට්‍රේනින් කළේ මම. අවුරුදු න වෙද්දී එයා ක්‍රිකට් පිත්ත තමයි අතට ගත්තේ. අවුරුදු 10 වෙද්දී මට හිතුණා පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට කවදා හරි දක්ෂතා දක්වයි කියලා.
ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වුණා ඔහු ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරයි කියලා..?
එහෙම බලාපොරොත්තුවක් මුලින් තිබ්බේ නැහැ. නමුත් පාසල් ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩා කරමින් දිගින් දිගටම දක්ෂතා දක්වද්දී මට හිතුණා දවසක එයා ජාතික කණ්ඩායමට එකතු වෙයි කියලා. ඒ වගේම එයා ජාතික කණ්ඩායමට එකතු වුණා. ජාතික කණඩායමට එකතු වෙලා දක්ෂතා දක්වලා තියෙනවා. ඒවා ගැන කවුරු හරි හරියට අධ්‍යනය කළොත් තේරෙයි එයාගේ දක්ෂතා කොහොමද කියලා. සිව්වන ඉනිමේ වැඩිම සාමාන්‍ය අගයක් හිමිකරගත් ක්‍රීඩකයා, පුතා එයාගේ සාමාන්‍ය අගය 53.67 වෙනවා. ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ වේගවත්ව උඩපන්දු 70ක් රැකගත් ක්‍රීඩකයා, එයාගේ පළමු ටෙස්ට් තරගාවලිය මම නැරඹුවා සජීවීව. එදා මට හරියට සතුටු හිතුණා. ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක පැවති තරගයක අපේ කණ්ඩායම පරාජය වෙන්න ගියා. එදා පුතා ලකුණු 176ක් අරගෙන කණ්ඩායමේ ජයග්‍රහණය කරන්න උදව්වක් වුනා. පුතා පරදින්න ගිය තරග බොහොමයක් ගොඩ දැම්ම ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතා දන්න අය දන්නවා. 2019 වර්ෂයේ වැඩිම ලකුණු ලබාගෙන විරාත් කෝලිට විතරක් දෙවනියා වූ ක්‍රීඩකයෙක්. ඒ වගේම 2015 ඉදලා 2020 දක්වා වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නෙත් පුතා.
පසුගිය කාලයේ කුසල් මෙන්ඩිස්ට සමාජ මාධ්‍ය විවේචනය කළා, මඩ ප්‍රචාර ගියා..ඇතැම් දරුණු වචන එක්ක ඔබ පියා හැටියට වේදනාවට පත් වෙන්න ඇති නේද..?
පුතාට එල්ල වෙන ප්‍රචාර කතා එක්ක මම නම් ඉන්නේ දැඩි හිත් වේදනාවෙන්. එයාගේ තාත්තා හැටියට මම ඒවා දකිද්දී දුක් වෙනවා. ඇතැම් අය කියලා තිබ්බා බෝලයක් වැදිලා හරි මැරුණා නම් හොඳයි කියලා..එහෙම කතා කියන අයටත් දරුවෝ ඇති. තමන්ගේ දරුවෙකුට ඒ වගේ කතා කියද්දී කිසිම දෙමපියෙකුට ඉවසන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ කතා අහන්න දකින්න බැරි නිසා මම සමාජ මාධ්‍ය වලින් ඈත් වෙලා ඉන්නේ. පුතා ලකුණු අතරේ ඉන්නකොට ඔය සමාජ මධ්‍යම තමයි පුතාගේ හොඳ කිව්වේ. ක්‍රීඩකයෙකුට හැම තරගයකම ලකුණු ගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් මානසිකව වට්ටන්න හොද නැහැ. ඒ කතාවලින් වෙන්නේ ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම වැටෙන එක. ඒ නිසා ජනතාව ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම් වට්ටන්න කටයුතු කරන්න එපා කියලා ඉල්ලනවා.
කුසල් මෙන්ඩිස් ඊට ප්‍රතිචාර දක්වනවද, ඔහු ඒ ගැන දුක් වෙනවද..?
පුතා නම් දැන් ඒ ගැන දුක් වෙන්නේ නැහැ. එයා ඒ ප්‍රතිචාර ගැන හිතන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ. අපිත් එක්ක ඒ ගැන කතා කරන්නෙත් නැහැ. මගේ පුතා කවදාවත් වරදක් කරන්නේ නැහැ කියලා මම දන්නවා.
පසුගිය කාලයේ කුසල් ලකුණු අතරේ නොහිටින්න හේතුවක් විදිහට බොහෝ විචාරකයින් පෙන්වා දී තිබුණේ ඔහුට විවේකය අවශ්‍ය බව කියලයි, පියා හැටියට ඒ ගැන මොනවාද කියන්න තියෙන්නේ..?
කණ්ඩායමට කෙසේ හෝ ලකුණු ලබා දීලා ජාතික කණ්ඩායමට කුසල් ලකුණු අරන් දෙයි කියන විශ්වාසය ක්‍රිකට් තේරීම් කමිටුවට තියෙන්න ඇති. ඒ නිසා තමයි පුතාව දිගින් දිගටම කණ්ඩායමට ඇතුලත් කළේ. පුතාට විවේකයක් අවශ්‍යව තිබ්බා කියලා මමත් හිතනවා. තරග දෙක තුනක් ලකුණු රැස් කරන්නේ නැති වෙනකොට එය මානසිකව බලපානවත් ඇති. පුතාට දැන් විවේකය ලැබිලා තියෙනවා. විවේකයෙන් පස්සේ ඔහු නැවත සුපුරුදු දක්ෂතා අතරට එයි කියලා මම විශ්වාස කරනවා.
හර්ෂණී වීරරත්න