විනූ සිරිවර්ධන කියලා කියන්නේ කෙටි කාලයකින් ප්‍රේක්ෂක ජනප්‍රියත්වයට පත් වූ රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
එමෙන්ම රූපවාහිනියේ හා සිනමාවේද දායක වුණු ඇතැම් නිර්මාණවලිනුත් ඇඟයීමට ලක් වුණා.
මේ විදිහට කාගේත් ආදරය දිනාගත්ත විනූගේ ආදරණීය කැදැල්ලේ නවතම තොරතුරු නවලිය පුවත්පතේ නවතම අතිරේකය දඟකාරී සමග එක්වෙමින් පැවසූ දේ පහතින්.....
අවංක ආදරයක් බලාපොරොත්තුවෙන් හිටපු මට ඒ ආදරණීය හිත මුණගැහෙන්න යෝජනාවක් මාර්ගයෙන්. යෝජනාව ගේන්නේ මගේ හොඳම යෙහෙළියක්. ඇය ඔහු ගැන කියපු තොරතුරු ඇහුවට පස්සෙ ඒ රුව දකින්න මගේ හිතේ උපදින්නෙ කියන්න බැරි තරමේ ආසාවක්. ඒ නිසාම තමයි මම යෙහෙළිය දුන්න තොරතුරු ඔස්සේ මුහුණු පොත හරහා ඔහුව දැක ගන්නේ.
නිවැරදි තෝරා ගැනීම...
හිරිමල් වයසෙදී ඕනෑම කෙනෙක් තමන්ගේ අනාගත සහකරු - සහකාරිය ගැන නොයෙක් අන්දමින් සිහින මවමින් තමයි ජීවත් වෙන්නේ. සමහරු උගත් කෙනෙකුට කැමති අතරේ බොහෝ අය මුල්තැන දෙන්නේ ලස්සනට. ඔය අතරේ වත්පොහොසත්කම් ඒ හැමදේටම වඩා ඉදිරියට යන්න පිරිසකුත් ඉන්නවා. ඔය සිද්ධාන්තය මම අත්දැකීමෙනුත් දන්න දෙයක්. මොකද රංගන ශිල්පිනියක් විදිහට තියෙන ජනප්‍රියත්වය නිසාම යම් අවස්ථාවල මට ප්‍රේම ආරාධනා ලැබිලා තියෙනවා.
එවැනි අවස්ථාවකට මුහුණ දුන්නම කොයි කවුරුත් කල්පනාකාරි වෙන්න ඕන ඒ හිමිවෙන්න යන ආදරය අවංක එකක් ද කියන එක ගැන.
ඉතින් එදා මුහුණු පොතෙන් දැකපු ඒ රූපය බොහෝ දුරට මගේ හිතේ ඇඳුනා. ඒත් එක්කම මම ඒ ගැන ටිකක් ගැඹුරින් හිතන්න පෙළඹිලා ඉන්න අතරේ තමයි මම ඔහුව හැබැහින් දැක ගන්න අවස්ථාව උදා වෙන්නේ.
මිතුරියන්ගෙන් උපදෙස්...
පාසල් කාලේ ඉඳලා අදටත් මම ඇසුරු කරන හොඳම යෙහෙළියක් එක්ක තමයි මම ඒ ගමන යන්නේ. මුල්ම වතාවට දැකලා දැන අඳුනගෙන අපි අතරේ ඇති වුණු කතාබහ හරිම සුන්දර වුණත් මගේ ආදරණීය යෙහෙළියගෙන් මට හිමිවෙන්න යන ආදරේ සම්බන්ධයෙන් අවවාද, තහංචි උපදෙස් ලැබෙනවා.
එතෙන්දී ඇය මට කෙළින්ම කියනවා උඹ මෙයාට කැමති වුණත් කැමැත්ත පෙන්නන්නේ නැතුව අඩුගානේ මාස හයක්වත් ආශ්‍රය කරලා බලපන් කියලා. ඇත්තටම ඒ අවංක මිත්‍රත්වය නිසාම ඇය මට දුන්නු උපදෙස්.
යෙහෙළියගේ අවවාද හැම එකක්ම මගේ හොඳටයි කියන දේ මගේ හිතට කා වැදිලා තිබුණා. ඒ සඳහා මට මාස හයක් තියා දවස් හයක්වත් ඉන්න බැරි වුණා. අපි දෙන්නට දෙන්නා මුලින්ම දැකපු දවසේ රෑ අපි දුරකථනය හරහා පටන් ගත්තූ කතාබහ අවසන් වුණේ පසුදා පාන්දර තුනට......
කතාබහ නොදැනීම දුර ගියා...
ඒ කතාබහේ ඉඳලා මට දැනෙන්න ගත්තා මම බලාපොරොත්තුවෙන් හිටපු ආදරේ තමයි මේ හිමිවෙන්න යන්නේ කියලා. ඔහුගේ කතාව ඉතාමත් පැහැදිලියි වගේම සංවරයි.
තවත් වෙලාවකට ස්ථිරයි වගේම සෘජුයි. ඔය අතරේ මගේ යටිහිත කිව්වා මෙයා කරන දේ කියන කියන දේ කරන චරිතයක් හා අවංක පුද්ගලයෙක් කියන එක.
කවදාවත් මම ලස්සන වත්පෝසත්කම් උසස් තනතුරු දේපළ වැඩියෙන් තියෙන ආදරයක් ප්‍රාර්ථනා කරපු කෙල්ලෙක් නෙවෙයි. ඒත් මට ආදරය කරන රැකබලා ගන්න මගේ අම්මා තාත්තාට පුතෙක් වෙන්න පුළුවන් කෙනෙක් ජීවිතේට එනවා නම් හොඳයි කියන ප්‍රාර්ථනාව හිත පුරා තිබුණා.
කැමැත්ත ප්‍රකාශ කළා.....
ඒ ප්‍රාර්ථනා අද මගේ දෑස ඉදිරියේ සපල වෙන්න යනවා කියන දැකීමත් එක්ක මගේ හිතේ සතුට දෝරේ ගලාගෙන යන අතරේ යෙහෙළිය මට දීපු මාස හය පැත්තකින් තියලා දවස් තුනක් ගත වෙන්න කලින් මම කසුන් බලාපොරොත්තුවෙන් හිටපු මගේ කැමැත්ත ඔහුට ප්‍රකාශ කරලා "මගේ ආදරේ" හිමි කරගත්තා.
අපි අපේ ජීවිත මොන විදිහට ගත කරන්න සැලසුම් කරගෙන හිටියත් ඒ හැමදේම සිද්ධ වෙන්න ක්‍රමයක් හා වෙලාවක් තියනවා. මම හිතන්නේ ඔය කියන වෙලාව මගේ ජීවිතේට පසුගිය කාලේ යහපත් විදිහට බලපාලා තිබුණා වෙන්න ඕනේ...
බලාපොරොත්තු ඉටු වෙලා මම ඔහුගේ වුණා...
මොකද එහෙම නොවුණා නම් මම බලාපොරොත්තු නොවිච්ච ආකාරයේ හොඳ පෞරෂයක් එක්ක ලස්සන හදවතක් තියෙන උගත් බුද්ධිමත් අවංක ආදරයක් මට හිමිවන්නේ නැහැ.
දැන හඳුන ගෙන අවුරුද්දකට වැඩි කාලයක් ඇසුරු කරද්දි ඔහුගේ ආදරණීය බව ගුණ යහපත් කම් රුචි අරුචිකම් අදහස් උදහස් බොහෝ දුරට මම හඳුනා ගත්තා.
හැමදේම හොඳින් සිද්ධ වේගෙන යන අතරේ මට ළංවුණ ඒ ආදරේ මගේම කරගන්න නියමිත කාලේ ළං වෙලා තිබුණා. එය කුමන හේතුවක් නිසාවත් කල් දැමිය යුතු නොවන බව මට මෙන්ම ඔහුට ද ඒ වන විටත් හොඳින්ම අවබෝධ වූ තැන මගේ ආදරය හදවතින්ම පිළිගෙන මං ඔහුගේ වුණා.
ධම්මික හේවාවසම් - නවලිය දඟකාරි