"ඒ වගේම කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ හොඳ ප්‍රදේශයේ හොඳ රැකියාවකුත් හම්බවුණා. මාසයකට රුපියල් 60, 000ක් 70,000ක් විතර වැටුපකුත් ගත්තා"
විදුලිසැර වැදී මිය ගිය උපාධිධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පියා වන එම්.පී ෂෙල්ටන් කුමාරසිංහ මහතා සාක්ෂි දෙමින් එසේ කියා සිටියා.
මෙලෙස මිය ගොස් තිබුණේ කෑගල්ල ඔලගන්කන්ද ග්‍රාමයේ පදිංචිව සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමණාකාර අධ්‍යයනාංශයේ 2017 වර්ෂයේ පිට වූ එම්. පී. ප්‍රදීප් රංජන් කුමාරසිංහ නම් 29 හැවිරිදි උපාධිධාරි තරුණයෙක්.
මිය ගොස් ඇති උපාධිධාරියාගේ විවාහ මංගල්‍යය පෙරේදා 14 වැනිදා පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ පිහිටි විවාහ මංගල්‍යය උත්සව ශාලාවක පැවැත්වීමට සුදානම් කර තිබුණා.
ඉකුත් 11 දා සවස මේ උපාධිධාරියා නිවස පිටුපස තාවකාලිකව ඉදිකර තිබූ මඩුවකට විදුලි බල්බයක් සවි කිරීමට යාමේදී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් ව තිබුණා.
මිය ගිය උපාධිධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 12 වැනිදා පෙරවරුවේ කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදු කෙරුණා.
උපාධිධාරියාගේ පියා වන ෂෙල්ටන් කුමාරසිංහ,
"මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මිය ගිය පුතා පවුලේ වැඩිමල් දරුවා. දෙවැනියට දුව ලක්ෂිකා. දුව කෑල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට ගිය අවුරුද්දේ පෙනී ඉඳලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිවසට වී සිටිනවා. බිරිඳ එම්. දිස්නා රංජනී ගුණසේකර, බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. මම පෙදරේරු රැකියාව කරන්නේ.."
"පුතාගේ විවාහය ලියාපදිංචි කරලා මනාලිය නිවසට කැන්දාගෙන ආවේ නෑ. පස්සේ ජනවාරි 14 වැනිදා විවාහ මංගල්‍යය පින්නවල ප්‍රදේශයේ විවාහ උත්සව ශාලාවක පවත්වන්න සියල්ල සුදානම් කරගෙන සිටියා. පුතා කොළඹ වැඩපළේ ඉඳලා 9 ගෙදර ආවා. 10 දා ගමේ පන්සලට උදේ දානය අරන් ගියා. ඒ ගිහිල්ලා ඇවිත් එයාගේ කාමරය සුද්ධ පවිත්‍ර කරගත්තා..."
"11 දා උදේ පුතා කෑගල්ලේ ටවුමට ගියා. එයා බඳින්න ඉන්න මනමාලියට අවශ්‍ය කරලා තිබුණු බඩුමුට්ටු ටිකක් අරන් දීලා ඒ ළමයා පස්සේ උඳුගොඩ ගෙදරට ඇරලවා ආපහු පුතා ආවා. ඒ වෙනකොට මම නිවසේ ඉදිරියේ දළඹ ගහමින් සිටියා. පුතා මට ඒකටත් උදව් කළා. පස්සේ අපේ ගෙදරට ඇවිල්ලා හිටියා පුතාගේ නැන්දලයි පුංචිලයි හවස 6.15 විතර කුස්සියේ හිටපු අය පුතාට කියලා තියෙනවා පිටුපස හදලා තියෙන මඩුවට බල්බයක් වයරය සමඟ අරන් ගිහින් තාවකාලිකව හදලා තිබ්බ මඩුවේ සවි කරන්න කියලා. කුස්සියේ හිටපු නංගි කෙනෙක් මට කිව්වා විදුලි වයරය ගලවන්න කියලා. මම වයරය ඇදලා දමලා පුතා බලන්න කුස්සිය පිටුපසට ගියා. පස්සේ මම දැක්කා පුතා වැටිලා ඉන්නවා. පස්සේ බොහෝම අමාරුවෙන් පුතා පල්ලට ඇගෙන ත්රීරෝදයකින් කෑගල්ල මහ රෝහලට ගියා. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා කිව්වා පුතා මිය ගිහිල්ලා කියලා.."
"පස්සේ අපි ගෙදර ගියා. 12 දා උදේ කෑගල්ල මහ රෝහලට ඇවිල්ලා පුතාගේ දේහය හඳුනාගෙන මරණ පරීක්ෂණයට පෙනී සිටියා. මට මේ මරණය ගැන සැකයක් නෑ. විදුලි සැර විදී මියයන්නට ඇති බව මම විශ්වාස කරනවා.."
මෙහිදී මියගිය උපාධිධාරියාගේ බිරිඳ වන දිල්හානි වාසනා බණ්ඩාර උපාධිධාරිනිය ද සාක්ෂි ලබා දුන්නා.
"මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්.."
