කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් තහවුරු කරමින් 20 දෙනකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම අද (15දා) සිදුකෙරේ.
ගුවන් භාණ්ඩ ලෙස සහ මගීන් විසින් රැගෙන යන ගමන්මලූවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය, පහසුවෙන් හඳුනාගතහැකි වන පරිදි විශේෂ හැකියාව ලත් මෙම සුනඛයන් හට පුහුණුව ලබා දී ඇත්තේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී ය.
මෙම සුනඛයන්, අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදාගනිමින් ද පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණදුන් අතර එවැන්නක් සිදුවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වීම ද විශේෂත්වකි.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුනඛ බළකාය තවදුරටත් ශක්තිමත් කිරීමට සිවිල් ගුවන්සේවා ආරක්ෂක කමිටුවේදී, ගත් තීරණයට අනුව මෙම විශේෂ වර්ගයේ සුනඛයන් 20 දෙනා එම බළකායට මෙයට මාස කිහිපයකට පෙර එක්වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 22 ක් වූ මූල්‍ය සහාය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසිනි.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් හඳුන්වාදී ඇති ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් වන රෙගුලාසීන් නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම අතින් ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් නිරන්තරයෙන් ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරනු ලබන අතර එම තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ අයුරින් පුහුණුව ලත් සුනඛයන් කණ්ඩායමක් ගුවන්තොටුපළ ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා යෙදවීමේ අරමුණයි.
මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවැසි පුහුණු කටයුතු නිමකර විසිර යෑමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්විණි.