අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක, මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ වෙනම කාමරයක් තුල මේ වනවිට රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ බන්ධනාගාර ගත වූවන් සම්පූර්ණ කළ යුතු අනිවාර්ය නිරෝධායන කටයුතු සඳහායි. එහි දින 14 ක් රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පී.සී.ආර් පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිතයි.
ඉන් අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඒකමතික තීන්දුවක් ලෙස බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඩුවම් නියම කළේ සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.
මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සහ ඔහුට සිරදඬුවම් නියම වීමෙන් අහිමිවන මන්ත්‍රී ධුර පුරප්පාඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගය ලබන සඳුදා පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.
සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ නීතිඥවරුන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
සිරදඩුවම් නියම වීමෙන් පසු අහිමිවන රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරයට ගම්පහ දිස්ත්‍රික් ඡන්ද මනාප ලැයිස්තුව අනුව, සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අජිත් මාන්නප්පෙරුමයි.
හිරු ප්රවෘත්ති අංශ ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ පක්ෂය විසින් තමන්ට ඒ පිලිබඳව මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් සිදුනොකළ බවයි.