මිනිස්කමට ගී ගැයූ ඒ අසහාය සහය ගායකයා නික්ම ගොසින් වසර 17ක් වෙනවා. නමුත් ඔහු තවමත් ජිවතුන් අතර නැති බව කිසිවෙකුටත් තේරෙන්නේ නැහැ, ඊට හේතුව ඔහුගේ ගීත ජීවමාන නිසයි. ඒ වෙන කවුරුවත් නෙමෙයි ප්‍රවීණ ගායක විශාරද ගුණදාස කපුගේ. ගහකොළට, ප්‍රේමයට ගී ගැයූ ඔහු ගැන කතා කරන්න ඔහුගේ ආදරණිය බිරිඳ ප්‍රේමා කපුගේ අපිත් එක්ක කතාබහකට එකතු වුණා. ඔහුගේ මතක ගැන ඇය කී කතාවයි මේ.
ප්‍රවීණ ගායක කපුගේ මිය ගොස් වසර 17ක් ගත වෙනවා. මේ කාලයට ඔහුව අමතක වූ මොහොතක් ඔබට නැතුව ඇති..?
මතක් නොවුණු දවසක් නැහැ. නිතරම ඔහු මතකයේ ඉන්නේ . හැම මාසෙම එතුමා වෙනුවෙන් පිං පමුණුවලා දානේ දෙනවා. අවුරුද්දක් පාසා දානේ දෙනවා, පුළුවන් හැම මොහොතකම නැති බැරි අයට උදව් කරනවා. ඔහු මිය ගියේ 2003 වර්ෂයේ. දරුවන් තුන් දෙනෙක් එක්ක තනි වෙද්දී ගැහැණියක් විදිහට පුදුමාකාර දුකක් දැනුණේ.ඒ වෙද්දී පුතාගේ වයස 23ක්, දුවලා දෙන්නා ඉගෙන ගන්නවා. ඔහුගේ වියෝවත් එක්ක මම මානසිකව ඇදගෙන වැටුණා. ඔහු මිය ගියා කියලා දැනගත්ත මොහොතේ මම මොනවාද කරන්නේ කියලාවත් හිතාගන්න බැරුව හිටියේ. බාත් රූම් එක තියෙන තැන පවා අමතක වුණා. ඔහුගේ අවසන් කටයුතු ඉවර වුණාට පස්සේ ටික ටික හිත හදාගෙන යථාර්තයට මුහුණ දුන්නා.
ඔහු මිය යන්න කලින් විදෙස් සංචාරයකට සහභාගී වුණා, ඒ වෙද්දීත් ඔහු හිටියේ අසනීප තත්වයෙන් නේද..?
ඔව්. ඒ වෙද්දී එයා දියවැඩියා රෝගයෙන් පෙළුණු කෙනෙක්.ලංකාවෙන් පිටත් වෙන දවසේ රෑ පරිප්පු, පොල්සම්බෝල, හාල් මැස්සෝ හදලා කෑම කාලා පුතා එක්ක තමයි ගුවන් තොටුපොළට ගියේ. ගිහින් කෝල් කළා. කකුලේ තුවාලයක් තිබ්බා. ප්‍රේමා කකුල හරි අමාරුයි, කකුල වෙලාගෙන තමයි අද ස්ටේජ් නගින්න වෙන්නේ කිව්වා. මම කිව්වා රත්තරනේ පරිස්සමට සින්දු කියලා එන්න කියලා. හිතුවේ නැහැ ඒ අන්තිම කතාබහ කියලා.
ඊට පස්සේ මොකද වුණේ..?
ෆ්ලයිට් එකෙන් එයා බැහැලා තියෙන්නේ ගුවන් සේවිකාවකගේ උදව්වෙන්. ඊට පස්සේ බ්‍රිෆ් කෙස් එකයි තව පාර්සලයකුයි අතේ තියාගෙන තමයි ගුවන්තොටුපල පරිශ්‍රයේ බස් එකට නැගලා තියෙන්නේ. එදා සෙනග ගොඩක් ඉදලා. අන්තිමට නැගලා තියෙන්නේ කපුගේ. දොර ළඟ තමයි එදා එයා ඉදලා තියෙන්නේ. ඒ වෙලාවේ බස් එකේ එයා වැටිලා. ඔලුව වැදිලා සිහිය නැති වෙලා. ගුවන් තොටුපළේ ඉන්න වෛද්‍යවරු එදා එන්න පරක්කු වෙලා. එතුමාව රෝහලට රැගෙන ගිහින් තිබ්බා. අපි රෝහලට ගියා. යද්දී එයා හිටියේ ට්‍රොලියක දාලා. මම ළඟ ඉන්නවා කියලා එයාට දැනෙන්න ඇති. එයා මගේ වම් අත අමාරුවෙන් අල්ලලා මඟුල් මුද්ද අල්ලලා ඒ මම කියලා අනුමාන කළා. මගේ අත තදින් මිරිකුවා. ඒ වෙද්දී එතුමා unconscious තත්වයේ හිටියේ. එයාව පරික්ෂා කළේ වෛද්‍ය කොල්වින් මහතා. එතුමා එක්ස් රේ එකයි MRI එකයි බලලා මගේ දිහා අමුතු විදිහට බැලුවා. මට වෙනසක් තේරුණා. ඒ වෙද්දී කපුගේගෙ ඔළු කට්ට හතරට කැඩිලා තිබ්බේ. ඊට පස්සේ ඇදට දැම්මා. අපි හිතුවා කොයි වෙලාවේ හරි සිහිය එයි කියලා.ඉක්මණට ගෙදර දුවලා ගිහිං කපූ එළු මස් කන්න ආස නිසා මම කෑම හදාගෙන ආවා. නමුත් කෑම කන තත්වයක හිටියේ නැහැ. අපිට කිව්වා ගෙදර යන්න කියලා. ඉන්න එපා කියලා. අපි ගෙදර ගියා. පහුවදා හොස්පිටල් එකට එන්න කියලා අපි ගියා. එතුමා ඒ වෙද්දී නැති වෙලා. මට ඒ මොහොතේ නම් කිසි දෙයක් හිතුනේ නැහැ. මම අඩපණ වුනා කියලා විතරයි මතක. ඒ වේදනාවෙන් එලියට එන්න මට බොහෝ කාලයක් ගියා.
එතුමා රෝහලට ඇතුළත් කරන මොහොතේ ඔහුගේ මුදල්, හා තවත් වටින දේවල් අස්ථානගත වෙලා තිබ්බා නේද..?
ඔව්. එතුමාගේ කලිසම් සාක්කුවේ ලක්ෂ තුනහමාරක මුදල් තිබිලා තියෙනවා. මම ඔහුගේ කලිසම් සාක්කුවට අත දන්න යනකොට ඔහු මොකක් හෝ ඉගියක් දුන්නා. ඒ වෙද්දී සල්ලි සාක්කුවේ තිබ්බේ නැහැ. ඔහු ගෙනා පාර්සල් එහෙමත් කවුරු හරි අරගෙන. අපිට ඒ මොහොතේ අවශ්‍ය වුනේ ඔහුගේ ජිවිතේ මිසක් භාහිර දේවල් නෙමෙයි. ඒ නිසා අපි ඒ ගැන හොයන්න ගියේ නැහැ.
ඔහුගේ වියෝවත් එක්ක දරුවන් තිදෙනා සමඟ ඔබ තනි වෙනවා. සියල්ල තනියෙන් සිදුකරගැනීම අභියෝගයක් වුනේ නැද්ද..?
මට ඔහු නැති අඩුව තදින් දැනුනා. මම ඊළගට කරන්නේ මොකක්ද කියලා විතරයි හිතුවේ. ඒ වෙද්දී මගේ තනි මහන්සියෙන් තට්ටු හතරකට ගෙදරත් හදලා තිබ්බේ. අලුත් ගෙදරට ගිහින් මාස කිහිපයකින් තමයි එතුමා නැති වුණේ. කපූ මොන රූපවාහිනි වැඩසටහනට ගියත් මාව මතක් කරනවා. ඔහු නිතරම කිව්වේ ගෙදර කියන නෞකාවේ අපිව රැගෙන යන්නේ ප්‍රේමා කියලා තමයි. ගෘහය කියන දෙයට මුලිකත්වය දෙන්න එයාට වෙලාවක් තිබ්බේ නැහැ. මම හිටපු නිසා ඒ බර එයාට දැනුනෙත් නැහැ. ඒකට එයාට දොස් කියන්න බැහැ. මොකද ඔහු සංගීතයත් එක්ක කාර්යබහුල වෙලා හිටපු නිසා. ඒ නිසා ගෙදර වැඩකටයුතු කරගන්න ආර්ථිකය ශක්තිමත් කරගන්න එකට ඔහු නැති අඩුව බලපෑවේ නැහැ. නමුත් මට ඔහු ලගින් හිටියා නම් කියලා හිතෙනවා.
හඳහන විශ්වාස කරනවද, ඔහු ගැන හඳහනේ සඳහන් වෙලා තිබ්බ විශේෂ දෙයක් තියෙනවද..?
අපි විවාහ වෙන්න කලින් එයාට අවශ්‍ය වුනා අපේ හඳහන බලන්න. හඳහන බලලා කිව්වා මෙයාට ඉතුරු කරන්න බැහැ. ඔයාට ජිවිතේ ඇදගෙන යන්න පුළුවන් නම් මේ ජිවිතේ භාර ගන්න. විවාහ වෙන්න. සිනි බෝලයක් වගේ හිටියොත් නම් දුක් විදලා මැරෙන්න තමයි වෙන්නේ කියලා. පුංචි කාලේ ඉදලා ගෙදර වැඩකරලා තිබ්බා. මගේ අම්මා දරුවෝ 9ක් ජිවත් කරවන්න ගොඩක් දුක් විදලා තියෙනවා. ඒ නිසා පවුලේ බාලයා විදිහට මගේ එකම ප්‍රාර්ථනාව වුනේ හොඳ රැකියාවක් කරලා අම්මට සැප දෙන එක. ඒ නිසා ජිවිතේ ගොඩ නගාගන්න මට උපරිම ශක්තිය තිබ්බා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබලා ගුරු පත්වීමක් ගත්තා. කොහොම හරි අදටත් පිං දහමක් කරගෙන හොඳින් ජිවත් වෙනවා.
එතුමා හා ඔබ මුණ ගැහෙන්නේ අහම්බයකින් වෙන්න ඇති, ඒ ආදරණිය මතකයත් මතක් කරමු..?
එතුමා ගායකයෙක් විදිහට කටයුතු කරන කාලේ මමත් රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් හැටියට ලෝකේ පුරා ගියා. ඒ කාලේ මාත් එක්ක හිතවත් වුනු යාලුවෙක් හිටියා. එයා තමයි මගේ හොඳම යාලුවා වුනේ. මංජුලා මානවසිංහ. එයාගේ ගෙදර තමයි කපු නතර වෙලා හිටියේ. මම එයාගේ උපන්දිනේට එයාගේ ගෙදර ගියා. ඒ කාලේ එයාගේ සිතල සඳ එළියේ ගීතය වගේම දෑස නිලුපුල් තෙමා ගීතය ජනප්‍රිය කාලේ. මංජුලාගේ ගෙදරදී තමයි මට එයාව මුණගැහෙන්නේ. එදා අපි කතාබහ කළා. හිතවත් වුණා ආදරේ කළා. මංජුලාගේ අම්මා ශ්‍රීමති මහත්මිය. එතුමිය මට හරි ආදරෙයි. එයාගේ ගෙදරම තමයි අපි අන්තිමට විවාහ වුණේ. පෝරුව හදලා දෙමාපිය ආශීර්වාදයෙන් අපි විවාහ වුනා. එදා මගේ අම්මා ආවේ පොලොන්නරුව මගේ ගමේ ගෙදර ඉදලා. අම්මා හරි මහන්සියෙන් හම්බ කරපු මුදල් වලින් මට රුපියල් 3000ක් දුන්නා. දෙවැනි ගමනට ඇන්ද සාරිය මට දුන්නේ මාලනී බුලත්සිංහල මහත්මිය.
ඒ කාලේ ඔහුට ලැබුණු ප්‍රතිචාර කොයි වගේද, ගැහැණු ළමයින්ගෙන් එහෙම ප්‍රතිචාර ගලාගෙන එන්න ඇති..?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා. බොහෝ දෙනෙක් ඔහුට ආදරේ කළා. ඔහුට ලැබුණු ප්‍රතිචාරයක් විදිහට තමයි රත්නශ්‍රී මුණගැහෙන්නේ. රත්නශ්‍රී කවි පොතක් ලියලා එයාට ගෙනත් දුන්නා. ඒ කවි හරිම ලස්සනයි. කපූ මට කිව්වා ප්‍රේමා මේ කවි හරි ලස්සනයි. සින්දුවක් කළා නම් හොඳයි කියලා. රත්නශ්‍රී පදරචකයෙක් වෙන්නේ ඒ විදිහට. බොහෝ පදරචකයින් , සංගීතඥයින් කපූ බිහි කළා.
දරුවෝ ගැන කිව්වොත්..?
පුතා මිත්‍ර කපුගේ. ලඟදි විවාහ වුනේ. ඒ මගේ ලේලී නෙමෙයි, දුව වගේ. කපූට ඕන වුනා කවදා හරි පුතාගේ විවාහ උත්සවය ගෙදර ගන්න. ඒ නිසා දෙවැනි ගමන අපි ගෙදර ගත්තා හරිම සරල විදිහට. ලොකු දුව නවසීලන්තයේ ඉන්නේ. වෛද්‍යවරයෙක් එක්ක විවාහ වුනේ. ලොකු දුවට භාෂා 4ක් පුළුවන්. භාෂා පිලිබඳ කථිකාචාර්යවරියක් හැටියට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කටයුතු කළා. පොඩිදුව ඉන්නේ ඉතාලියේ, එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම පුතා මිත්‍ර කපුගෙ එංගලන්තයේ විශ්ව විද්‍යාලයක ලෝක සංගීතය ( World music ) ගැන උපාධියක් ලබාගෙන තියෙනවා
සැමියාගේ ගීත ඉදිරි පරපුරට රැගෙන යන්න පුතෙක් ඉන්නවා. සැමියාගේ ගීත වල අයිතිය ඔහුට ලබා දුන්නද..?
මම සැමියාගේ ගීත වල අයිතිය පුතාට දුන්නා. පුතා දඩිබිඩියේ දුවන දරුවෙක් නෙමෙයි. එයා එයාගේ ගමන හිමින් යනවා. ඔහුගේම ගීතත් නිර්මාණය කරමින් තමයි පුතා එයාගේ ගමන යන්නේ. ඒ ගැන අම්මා විදිහට මට සතුටක් තියෙනවා.