අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නිරෝධායනය සඳහා මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.
අදාල නඩුවේ තීන්දුව සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඒකමතික තීන්දුවක් ලෙසින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාසවන අයුරින් අදාළ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, 2017 වසරේ අගෝස්තු මස 21 වැනිදායි.
ඒ, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශේෂ්ඨාධීකරණයට යොමු කල පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව මීට අදාළ චෝදනා පත්‍රය ගොනු කර තිබුණා.
අවස්ථා කිහිපයදීම කැඳවූ මෙම නඩුවේ තින්දුව අද ප්‍රකාශයට පත් කළා.
නීතිපතිවරයා වෙනුවෙන් ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න පෙනී සිටි අතර වගඋත්තරකාර රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥ මණ්ඩලයක්.
නඩුව සලකා බැලුවේ සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
අධිකරණය විසින් සම්පාදිත ලිඛිත තීන්දුව විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ විසින්.
2017 වසරේ අගෝස්තු මස 21 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිටදි රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවට චෝදනා කරමින් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මෙම නඩුකරය විභාගයට ගැනුණු බව විනිසුරුවරයා එහිදී සඳහන් කළා.
එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා මෙරට නීතිඥවරු සහ විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිතයින් බවත්, ඔවුන් මුදලට වැඩ කරන බවටත් ඔවුන් දූෂිතයින් බේරා ගන්නා බවටත් ප්‍රකාශ කර තිබූ බව සාක්ෂිවලින් අනාවරණය වනවා.
අධිකරණය හමුවේ සාක්ෂි දුන් වගඋත්තරකාර රංජන් රාමනායක ප්‍රශ්නගත ප්‍රකාශය තුළ තමන් අතින් ”විනිසුරුවරු” යන වචනය සඳහන් වූයේ වැරදීමකින් යැයි සඳහන් කර තිබෙනවා.
නමුත් ඔහුගේ පශ්චාත් ක්‍රියාකලාපය පිරික්සීමේදී එම විත්තිවාචකය බිඳ වැටෙනවා.
මෙම නඩුකාරය ආරම්භ වීමෙන් පසුව නඩුව කැඳවන දිනවල එය අවසන් වීමෙන් පසුව වගඋත්තරකාර රංජන් රාමනායක ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ සිදුකර තිබෙන බවද විනිසුරු සිසිර ද ආබෲ සිහිපත් කළා.
2017 වසරේ දෙසැම්බර් මස 14 වනද, 2018 වසරේ මාර්තු මස 23 වන දා, ජුනි මස 4 වන දා, ජුනි මස 18 වනදා, සහ සැප්තැම්බර් මස 05 වනදා යන දිනයන්හි මෙම නඩු විභාගය අවසන් වීමෙන් පසුව වගඋත්තරකාර රංජන් රාමනායක අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ ශේෂ්ඨාධිකරණ භූමියේ දී සිදුකළ ප්‍රකාශවලින් විනිසුරුවරු දූෂිතයින් බවට තමන් විසින් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවටත් තමන් ඒ වෙනුවෙන් සිර දඬුවම් විඳීමට පවා සූදානම් බවටත් ඒ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවටත් සඳහන් කර තිබෙනවා. ඒ බව වීඩියෝ සාක්ෂි පිරික්සීමේදී අනාවරණය වනවා.
මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත ප්‍රකාශය තුළින් විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බවට රන්ජන් රාමනායක විසින් සිය විත්තිවාචකය මගින් සඳහන් කර තිබුණා.
වගඋත්තරකාර රංජන් රාමනායක විසින් 2017 වසරේ අගෝස්තු මස 21 දා අරලියගහ මන්දිරය අසළ දී සිදුකළ ප්‍රකාශය මෙම නඩුකරය ආරම්භ වීමෙන් පසුවද අවස්ථා කිහිපයකදී උපරිමාධිකරණ සංකීර්ණ භූමියේදී ජනමාධ්‍යවලට සිදුකර තිබූ බව විනිසුරු සිසිර ද ආබෲ පෙන්වා දුන්නා.
ඒ තුළින් විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් වගඋත්තරකරු තුළ තිබූ බව ඔහු විසින් පුන පුනා ප්‍රකාශ කර ඇතැයි ද විනිසුරුවරයා සඳහන් කළා.
මෙම චෝදනාව විභාග කිරීමට ශේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට වගඋත්තරකාර රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මතු කළ විරෝධතාව ද ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.
සියලු කරුණු පිරික්සීමේදී වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී තිබෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දු කළා.
ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළා.
අනතුරුව සිර දඬුවම් නියමවු රංජන් රාමනායක අධිකරණ පරිශ්‍රයේ සිට බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියා.
පසුව සිර දඬුවම් නියමවු රංජන් රාමනායක නිරෝධායනය සඳහා මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළා.
මේ අතර, බරපතල වැඩ සහිතව වසර 4 ක සිරදඩුවමක් නියම වීමත් සමඟ රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බව ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි.
ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තියේ සිට 91 දක්වා වගන්තිවල පැහැදිලිව සඳහන් වන බවයි ඔහු කියා සිටියේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන වගන්තියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට වන නුසුදුසුකම් සඳහන් වනවා.
ඒ 89 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති නුසුදුසුකම් සඳහා යටත්වීමට අනුකූලවයි. 89 වන ව්‍යවස්ථාවේ “ඈ” ඡේදයේ සඳහන් පරිදි යම්කිසි තැනැත්තෙකු අවුරුදු 2 කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමෙන් දඩුවම් කළ හැකි වරදකට කවර හෝ අධිකරණයක් මගින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද 6 මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඩුවමක් විඳිමින් සිටීනම්, ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරිමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයකදී ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමට සුදුස්සෙකු වන්නේ නැහැ.
ඒ අනුව, 91 වන ව්‍යවස්ථාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 89 වන ව්‍යවස්ථාවේ සඳහන් අදාළ නුසුදුසුකම්වලට යටත් වන්නේ නම්, එම තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා පත් කර ගැනීමට, අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිත කිරීමට ද නුසුදුසු වන බවයි.
පසුගිය මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජනබලවේගයෙන් නියෝජිතයින් 4 දෙනෙකු පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තා.
එම ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිවුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අජිත් මාන්නප්පෙරුමටයි.
අදාළ තත්ත්වය මත රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය, අජිත් මාන්නප්පෙරුම වෙත හිමිවනු ඇති බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.
කෙසේ වෙතත්, නව මන්ත්‍රීවරයෙකු නම් කිරීම මාස 6 කට පසුව ද සිදුකළ හැකි බවයි හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ.
අදාළ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ද අප විමසීමක් කළා.
ඔහු කියා සිටියේ තමන් මේ වනවිටත් අදාළ නීතිමය පසුබිම සොයා බලමින් පසුවන බවයි.