මගේ උපත සිදු වන්නේ දෙසැම්බර් 29 දවසක. නත්තල් අවසානයත් අලුත් අවුරුද්දේ උදාවත් එක්ක තමයි මගේ උපත සිදු වෙලා තියෙන්නේ. 29 වැනිදා ඉපදුනු මාව ගෙදරට අරන් ගිහින් තියෙන්නේ. ජනවාරි පළවෙනිදා. හරියටම අලුත් අවුරුද්ද උදාවෙනවත් එක්කම. ඉතින් එදා මාව ගෙදරට ගේද්දී ගොඩක් දෙනෙක් කියලා තියෙන්නේ අවුරුදු කුමාරයා ගෙදරට ගෙනාවා කියලා. ගෙදර පළමු දරු උපත තමයි මම. මට පසුව සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. මේ ටික තමයි විශේෂයෙන් දන්න දේවල්.
• පුංචි කාලේ උපන් දින සැමරුම් ගැන එහෙම මතකයක් තියෙනවද?
ඇත්තටම අපි හොඳ ආර්ථික වටපිටාවක් තිබුණු පවුලක් නෙමෙයි. බොහොම දුක් කම් කටොලු ආර්ථික අපහසුතා මැද්දේ ආපු පවුලක්. නමුත් අම්මාට, තාත්තාට පුළුවන් විදිහට අපි වෙනුවෙන් පුංචිම දෙයක් හෝ කළා. ඒ දවසට ඇඳුමක් ගෙනත් දීලා. කේක් එකක් කපලා පවුලේ අය විතරක් එකතු වෙලා පුංචි සැමරීමක් සිදු වුණා මතකයි. ආර්ථික අපහසුතා මැද්දේ වුණත්.
• පාසැල් කාලේ මතකයන්?
පාසල් කාලේ උපන් දිනයට කේක් කපලා නම් නැහැ. නමුත් ඉතින් යාළුවන්ගෙන් නම් බේරෙන්න බැහැ. ඒ දවසට උඹගේ උපන් දිනේ අපිට කන්න මොනවා හරි අරන් දීපන් කියනවා. ඉතින් ඒ කාලේ මොනවා හරි කන්න අරන් දීලා පුංචි සාදයක් වගේ පැවැත්තුණා මතකයි. මගේ උපන් දිනයට පොඩියට හරි මොනවා හරි කළා ඇරෙන්න යාළුවන්ගෙන් නම් ඒ කාලේ අපිට සාද ලැබිලා නැහැ.
• අද කොයි විදියට ද උපන් දින සැමරුම් සිදු වෙන්නේ?
දැන්නම් ඒ දවසට අනිවාර්යයෙන්ම කරන්නේ ළමා නිවාසෙකට දානයක් දෙන එක. විශේෂයෙන්ම අපි යන ළමා නිවාසයක් තියෙනවා. ඒ ගිහින් ඒ දරුවෝ එක්ක කේක් කපලා කේක් කෑල්ලක් කාලා. තේ එකක් බීලා සින්දුවක් එහෙම කියලා තමයි එන්නේ. ඒක ඇත්තටම සුන්දර මොහොතක් මට, මූලිකව හැම උපන් දිනයකම ඒ දේ සිදු වෙනවා. හදිසියේ හරි මට ඒ දවසට විදෙස් ප්‍රසංගයකට හෝ සම්බන්ධ වෙන්න වුණොත් ඒ වැඩ කටයුත්ත අනිවාර්යයෙන් මගේ බිරිඳ තිළිණි අතින් තමයි සිදු වෙන්නේ.
ඒ වැඩ කටයුත්තට අමතරව ඉතින් අනිවාර්යයෙන්ම ගෙදර සාදයක් තියෙනවා. විවාහයෙන් පසුව ආපු හැම උපන් දිනයක්ම වගේ ගොඩක් විශේෂ වුණා. ඇත්තටම ඒ දවස අපේ ගෙදර හරි කලබලකාරි දවසක්. උදේ ඉඳන් ගෙදර කෑම, බීම හදනවා. ගෙරදට තෑගි ලැබෙනවා. යාළුවෝ එනවා ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා.
• කේක් එහෙම ගොඩක් ලැබෙනවා ඇති. ඒ අතර සිත්ගත් කේක් ආකෘතියක් තිබිලා නැද්ද?
අම්මෝ ඇත්තටම කේක් ගොඩක් ලැබෙනවා. සමහර වෙලාවට මගේ උපන් දිනය වෙනුවෙන් දවසට කේක් තුන හතරක්ම කපන අවස්ථාත් තියෙනවා. ගෙදර හිටියත්, ප්‍රසංග වේදිකාවේ හිටියත්, නාලිකාවක වැඩ සටහනකට සම්බන්ධ වෙලා හිටියත්, කොතැනක හිටියත් ඒ සැමරීම කේක් එකක් කපලා සිදු කෙරෙනවා. ඉතින් ඒ කපන කේක් විවිධ ආකෘති වලින් නිර්මාණ වුණ ඒවා.
ඒ අතර ඉතින් වැඩිපුරම තිබිලා තියෙන්නේ මම සංගීතයත් එක්ක බැඳිලා ඉන්න නිසා ඒ සම්බන්ධ ආකෘති වගේ තමයි, ලොකු විශේෂයක් නැහැ. ඒ ලැබෙන හැමදේටම මම කැමැතියි.
• බිරිඳගෙන් දරුවන්ගෙන් ලැබුණු විශේෂ තෑගි ගැන සඳහන් කළොත් ?
වටිනාම තෑග්ගක් විදියට මම දකින්නේ රෑ 12ට බිරිඳ මගේ ළඟට ඇවිල්ලා හාදුවක් දීලා ඒ දවසේ සුබ පැතුම් එකතු කිරීම තමයි, ඒ දේ මට ගොඩක්ම වටිනවා. ඒ වගේම මම ගෙදර ඉන්නවා නම් ඒ දවසට මගේ දුවත් පුතාලා දෙන්නත් මට හොරෙන් සුබ පැතුම් පත් හරි ලස්සනට නිර්මාණය කරලා දෙනවා. ඒ මොනවා හරි තෑග්ගක් එක්ක සමහර වෙලාවට පුංචිම පුතා මගේම මොනවා හරි දෙයක් අරගෙන ඒවා තෑග්ගක් විදියට පැක් කරලා ආයෙත් මටම දෙනවා. රෑ 12පහු වෙද්දිම තිළිනිත්, දුවත් පුතාලා දෙන්නත් ඒ දේවල් මගේ අතටම ගෙනත් දෙනවා. ඒ දේවල් ඉතින් ගොඩක්ම විශේෂයි.
• ලැබුණු සර්ප්‍රයිස් එහෙම ඇති ?
සර්ප්‍රයිස් වැඩිපුරම ගෙදරින් ලැබිලා තියනේනේ. ඒ වගේම සංගීත කණ්ඩායමෙනුත් ලැබෙනවා. ප්‍රසංගවල දී උපන්දින සැමරුම් ගොඩක් සිදු වෙලා තියෙනවා. සමහර වෙලාවට පිටරට වල ප්‍රසංග වලට සම්බන්ධ වුණාම සංවිධායකවරු, රසිකයෝ කේක් අරන් ඇවිල්ලා ප්‍රසංගය අවසන් වෙනකම් බලාගෙන ඉන්නවා. කේක් කපන්න ඒ වගේ ලොකු ආදරයක් නම් දෙස් විදෙස් ප්‍රසංග වලදී ලැබිලා තියෙනවා.
• ඉතින් ඒ රසික ආදරය ඒ දවසට සුබ පැතුම් එක්ක එකතු වෙන විදිය ගැන කියමු ?
ඒ දවසේ රෑ 12 පැනපු ගමන් මට සුබ පැතුම් ගලාගෙන එනවා. දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ ඒ හැමදේම වගේම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේත් අති විශාල විදියට සුබ පැතුම් එකතු වෙනවා. ඇත්තටම ඒ දේවල් කළමනාකරණය කර ගන්න බැරි තරම්. ගිය වසරේ උපන් දිනය දවසේ මට හිතා ගන්න බැරි වුණා. ඒ ආපු සුභ පැතුම්.
ඒ තරම් විශාල සංඛ්‍යාවක් ආවා. ඒ හැම සුබ පැතුමකට තනි තනි වශයෙන් ප්‍රතිචාර දක්වන්න. ඇත්තටම බැරි තරම්. ඒ නිසා මගේ ඒ ආදරණීයයන්ට ස්තූති කරලා සටහනක් දැම්මේ පොදුවේ. ඒ FB සහ මගේ ෆෑන් පේජ්. (Fan page) ඒක හරහා. ඉතින් ඒ විදිහට ලැබෙන ප්‍රතිචාර අති විශිෂ්ටයි. ඒ දේවල් ලොකු වාසනාවක් කියලා මට හිතෙන්නේ.
• ඒ තරමට ලැබෙන ආදරේ ගැන කොයි වගේ හැඟීමක් ද තියෙන්නේ?
මනුෂ්‍යයෙක් විදිහට මම සාමන්‍ය පවුලක ඉපදිලා බොහොම ආර්ථික අපහසුතා මැද ජීවත් වෙලා. ඒ පවුලෙන් සමාජෙට ඇවිල්ලා මට තිබුනු හැකියාවක් සමාජ ගත කරලා ඒ හැකියාවට මට අද වෙද්දි ලොකු වටිනාකමක් ලැබිලා තියෙනාවා. ඒ දේ ලැබිලා තියෙන්නේ මගේ දක්ෂතාවයට විතරක්ම නෙමෙයි, ජීවත් වෙන විදියත් එක්ක.
විශේෂයෙන්ම මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඉදිරියට යන්නනම් හැකියාවයි. හැඳියාවයි දෙකම එකට යන්න ඕනැ කියලා. මේ දෙකම හොඳින් ගෙන ගියොත් මිනිසුන්ගේ ආදරේ වැඩියි. සමහරු හිතනවා කලාකරුවෙකුගේ කලා නිර්මාණ පමණයි වැදගත්. පෞද්ගලික දේවල් අදාළ නැහැ කියලා. පිටරට නම් ඇත්තටම එහෙමයි. නමුත් ලංකාවේ අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්ක කලාකරුවන්ට රසිකයෝ හදවතින්ම වැළඳ ගන්නවා.
කලා නිර්මාණ වගේම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ආදරේ කරනවා.
ඒ නිසා ඔවුන් වැරදි දෙයක් කළොත් දෙපාරක් නොහිතාම ඒ කෙනාව අත අරිනවා. ලංකාවේ බෙහොම සුළු පිරිසයි. කලාකරුවාගේ නිර්මාණ ගැන විතරක් හිතන්නේ.
මම ජීවත් වෙන විදිය, අඳින පළඳින විදිය, හැසිරීම පවුලක් විදියට ජීවත් වන විදිය, දරුවොත් එක්ක ගෙවන ජීවිතේ ඒ හැමදේටම ආදරය කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැම දේකම පිළිවෙළක් තියෙන්නේ ඕනෑ. හැමදේම පිළිවෙළකට තියා ගන්නවා නම් මම හිතනවා පවතින්න ලේසියි.
අපිට පවතින්නනම් ගොඩක් කැප කිරීම් කරන්නත් සිදු වෙනවා. සමහර කැමති දේවල් කැප කරන්නත් වෙනවා. ඒ හැමදේම අපි කැමැත්තෙන් ආදරෙන් කරන්න ඕනෑ. මොකද අපිව මේ තැනට ගෙනල්ලා තරු බවට බබළවන්න සමාජයේ ලොකු තැනක් දෙන්නේ ආදරණීය රසිකයන්. ඔවුන් අපිට ලබා දෙන ඒ වටිනාකම අපිත් වටිනාකමක් පෙරළා ලබා දිය යුතුයි. එතකොට තමයි කලාකරුවෙක් විදියට ලස්සන ගමනක් යන්න ලැබෙන්නේ.
ඉතින් ඔවුන්ගේ ඒ ආදරේ මිල කරන්න බැහැ. ඒ දේ අපිට ලොකු ශක්තියක්. එවැනි ආදරයක් ගෞරවයක් ලබන්නත් පිනක් තියෙන්න ඕනෑ. මම කියන්නේ මම ආයෙත් උපදිනවා නම් ඒ උපදින ආත්මයෙත් මම රොෂාන් ප්‍රනාන්දු කියන කෙනාම වෙලා උපදින්න ඕනෑ කියලා.
• මෙවර උපන් දිනය වෙනුවෙන් කොයි විදියට ද සැලසුම් සිදුවෙන්නේ?
ලොකු සැලසුමක් නම් නැහැ. සුපුරුදු විදියට ළමා නිවාසෙට දානේ දීලා ඒ දරුවෝ එක්ක ඒ මොහොත ගත කරනවා. ඒ දේ තමයි මූලිකව සිදු වෙන්නේ. එතැනින් පසුව සාමාන්‍ය විදියට බිරිඳ සහ මගේ යාළුවෝ එකතු වෙලා ඒ දවස සැලසුම් කරයි. සර්ප්‍රයිස් එකක් විදියට.
ධනු විජේරත්න