ඕනෑම ක්‍රීඩාවක් වෙහෙසකරය. ක්‍රීඩාවෙන් පන්නරය ලබන්නට එම වෙහෙසකර රටාවට හුරුවිය යුතුය. නමුත් කොතරම් වෙහෙසකර පුහුණුවක් සහ යෝග්‍යතාවක් වෙනුවෙන් කැප වුණද තරගයකදී ආබාධ සහිත ක්‍රීඩකයන් බුරුතු පිටින් මතු වුවහොත් පරදින්නේ තම කණ්ඩායම වේ. දකුණු අප්‍රිකාවේදී සිදුවූයේ කණ්ඩායම ආබාධ වෙද්දී රට පරාජය වීමයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙසේ සිදුවීම සම්බන්ධයෙන් නොයෙක් මාතෘකා දැන් කරළියට පැමිණෙමින් තිබේ.
ආබාධයක් පැමිණීම ඕනෑම ක්රීඩකයකුට සිදුවිය හැකිය. එය සාමාන්‍ය දෙයකි. නමුත් දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත් දෙනකු මේ වන විට ආබාධවලට ලක්විය. දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර ..ක්රීඩකයන 21 ක් ගෙනාවෙ නැතිනම් අපේ පිතිකරණ පුහුණුකරුටයි මටයි දෙන්නටම ඊළඟ ටෙස්ට් තරගය ගහන්න වෙයි... යනුවෙන් ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසා තිබුණේ එබැවිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ වැඩි වෙද්දී ඉන්දියාවේ විරාට් කෝලි සහ නවසීලන්තයේ කෙන් විලියම්සන්ගේ කාර්යබහුල තරග රටාවේදී ආබාධ නොවී සිටින හැටි සඳහන්ව තිබුණි. එහිදී ඔවුන්ගේ ආහාර පාලනයේ සිට ශරීර යෝග්‍යතාවලට ලබාදෙන අවධානයද දීර්ඝ වශයෙන් සඳහන් විය. නමුත් ලොව සෑම ක්‍රීඩකයකුටම ඒ සමාන යෝග්‍යතා ක්‍රමවේද තිබුණද ආබාධ වූවන් සහ නොවූවන් අතරින් එය හරියට කරන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න පැහැදිලි වේ.
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලූ 800 ක් ලබා ගත්තේ පන්දු දස දහසක් යවමිනි. නමුත් ඔහුට වත්මන් ක්‍රීඩකයන් මෙන් ආබාධ නොතිබුණි. චමින්ද වාස් වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ආරම්භක වේග පන්දු යවන්නාය. ඔහු ටෙස්ට් කඩුලූ 350 ක් දවා ගත්තේ ආබාධවලින් තොරව සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවිය නිමා කරමිනි. සනත් ජයසූරිය එක්දින තරග 445කුත් ටෙස්ට් තරග 110කුත් ක්‍රීඩා කළේය. ජයසූරිය එක්දින තරගවලදී ලකුණු 100කට වැඩියෙන් රැස් කරමින් එම තරගයේදීම පන්දුවාර 10ක් ද යැවූ අවස්ථාද ඕනෑ තරම් තිබිණි. සංගක්කාර සහ මහේලද පිතිකරුවන් ලෙස ආබාධ වූ තරග වාර්තා වූයේ කලාතුරකිනි. නමුත් දැන් කණ්ඩායමේ 15 ක් හිටියොත් භාගයක් ආබාධ සහිත වූවෝය.
ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් කොරෝනා ව්‍යාප්තිය අස්සේ රට අඟුළු දමා තිබුණද වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ කණ්ඩායමේ සාමාජිකයන් එකතු කරමින් ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව වැඩකටයුතු කළ බව පසුගිය කාලයේ පැවසීය. ළහිරු කුමාරද සිය ෆේස් බුක් පිටුවේ ගෙදර සිට ව්‍යායාම කරන බව ප්‍රචාරය කළේය. එසේ කළ ක්‍රීඩකයන් ලෙඩ වූයේ මෙවැනි හේතු නිසා යැයි පවසන්නේ ද ශ්‍රී ලංකා පුහුණුකරුවාය.
..කොවිඞ් වසංගතය නිසා කොළඹට පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් කාටවත් පිටතට යන්න බැරි වුණා. ඔවුන් ශාරීරික අභ්‍යාස තනි තනිව කළේ. නේවාසික පුහුණුව ලැබූ ක්‍රීඩකයන් එල්.පී.එල්. ක්‍රීඩා කළා. කාටවත් දොස් කියන්න බැහැ. අප .දකුණු අප්‍රිකාවට ගියේ එල්.පී.එල්. ඉවර වුණ ගමන්මයි. එල්.පී.එල්. අවසන් වෙලා දින 10 කින් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම නිසා මේ ආබාධ ඇති වුණා වෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක් නෙවෙයි.. යැයි මිකී ආතර් පවසයි.
මීට පෙර .දිවයින ඉරිදා සංග්‍රහයේ. පළවු .අපි නොදන්න ක්‍රිකට්. ලිපි මාලාවට සමග පැවැති සාකච්ඡාවකදී සිදත් වෙත්තමුණි පවසා සිටි අපූරු කතාව මතක් කිරීම කාලෝචිතය. ..එදා අපි වැඩට ගිහින් පුහුණුවීම්වලට එනවා. අසන්ත ද මැල් පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඉවර වෙනකම් පන්දු යවනවා. මට පුළුවන්නම් ඉවර වෙනකම් බැට් කරනවා. අපිට එදා අද වගේ ජිම් තිබුණෙ නැහැ. මම ජිම් එකකට ගියේ ක්‍රිකට් වලින් සමු අරගෙනත් වසර ගණනාවක් ගියාට පස්සෙ. නමුත් අද හැමදේම තියලත් ක්‍රීඩකයන් ලෙඩ වීම ගැන මට හිතා ගන්නවත් බැහැ.. යනුවෙනි.
1996 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයකු .දිවයින. සමග පවසා සිටියේ, ..ඇලෙක්ස් කොන්ටොරිගේ කාලයේදී අපිව බීච් එකෙයි පාරවල් දිගෙයි දිවෙව්වා. හැබැයි අපේ ශරීර යෝග්‍යතාව ඉතාමත් හොඳට හැඳුනා. අද ඉන්න අයට මොනව වේලාද මන්දා.. යනුවෙනි. ක්‍රිකට් ක්‍රීඩකයන්ට චිත්ත ශක්තිය අවශ්‍යයි. ඉන්දියාවේ අනිල් කුම්බ්ලේට ඇන්ටිගුවාහී පැවැති තරගයකදී මර්වින් ඩිලන් ගැසූ පහරක් ඔහුගේ හිසේ වැදුණි. එහිදී තුවාල වූ ඔහුගේ ඔළුවෙන් රුධිරය පිට කළේය. පසුව ඔළුව වටා මැහුම් සමග වෙළුම් පටියක් පැළඳ පැමිණි ඔහු යළිත් පන්දු යැව්වේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ලෙඩ වෙද්දී තරග කරන්නේ කවුරුන්ද?
වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බොහෝ වේග පන්දු යවන්නන් සිටින්නේ ලෙඩ ගොඩකය. ඔවුන් තරගයකදී ලෙඩ වෙති. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් ගෙවති. සේවය ප්‍රතිකාරවලට යට වෙති. භෞතචිකිත්සක ඇතුළු වෛද්‍යවරුන්ද ඔවුන්ගේ සෞඛ්‍ය ගැන නිතරම අවධානයෙන් සිටියි. නමුත් හැමදාමත් ලෙඩය. මේ ලෙඩ ගොඩවල් සමග 2021 වසරේ තරග රැසකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදු වුවහොත් එය රෑ වැටුණ වළේ දවල් වැටීමකි.
දිවයින