නව කොරෝනා ආසාදිතයින් 540 ක් හමුවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,380 දෙනෙකු දක්වා ඉහළ ගියා.
ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 44,618 ක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයින් 04 දෙනෙකුද වනවා.
මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා ආසාදිතයින් 6,823 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 41,325 ක් දක්වා ඉහළ ගියේ තවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටත්ව යාමත් සමඟයි.
මේ අතර, තවත් කොරෝනා මරණ 03 ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 232 දක්වා ඉහළ ගියා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 62 හැවිරිදි මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් මුල්ලේරියාව මූලික රෝහලේදී මියගොස් ඇති බවයි.
කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා.
පිඹුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇත්තේ පිලිකා රෝගී තත්ත්වය සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්.
එමෙන්ම, රත්නපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම, පොලොන්නරුව - ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වැනිදා අලුයම පළාගිය රැඳවියන් පස්දෙනාගෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ තුන් දෙනාගෙන් තවත් එක් අයෙකු ඊයේ සොයා ගත්තා.
ඒ, නාරම්මල - බෝගහපිටිය ප්රදේශයේදීයි.
මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් ලෙස සැලකෙන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.
ඔවුන් සියලුදෙනාට පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසට දැනුම් දී තිබෙනවා.
මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත්තේ පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම්, සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, ෆයිසාල් කාසිම්, එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික් සහ නසීර් අහමඩ් ඇතුළු මන්ත්‍රීවරුන්.
එසේම, පාර්ලිමේන්තු සභා ගර්භයද ඊයේ (10) දිනයේදී විෂබීජහරණයට ලක් කෙරුණා.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔහු පසුගිය 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.
ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස සභානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අතර, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත ආරියසිංහ සහ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන් මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ඇමරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අද යළි විවෘත කරන බව එමඟින් නිවේදනය කළා.