තවත් කොරෝනා මරණ 03ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 225 දක්වා ඉහළ ගියා.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (08) මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදියි.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීමෙන් ඇතිවූ කම්පනය සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ඊට අමතරව රත්නපුර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන් පෙරේදා රත්නපුර ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.
එමෙන්ම හොරණ ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක්ද පසුගිය 06 වන දා නිවසේදී මිය ගොස් ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පෙනහළු ආසාදනය සහ හෘද රෝගී තත්වයක්.
මේ අතර, ඊයේ (08) දිනයේදී නව ආසාදිතයින් 525 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 524 දෙනෙකුම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.
තවත් අයෙකු විදේශ මුහුදු ආරක්ෂකයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47,305ක් ලෙස සටහන් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 40,317ක්.
එමෙන්ම, ආසාදිතයින් 6763 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
නවතම දත්ත අනුව මේ වනවිට දිවයින පුරා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන 72ක ගිලන් ඇඳන් 13,000 කට ආසන්න සංඛ්‍යාව ආසාදිතයන්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සඳහා වෙන් කර තිබෙනවා.
හික්කඩුව සහ කොග්ගල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික හෝටල් දෙකක් ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කර ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම, මෙම සෑම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළින්ම බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ටී.සී.එල්. යොදා පිරිපහදු කොට මළාපවහන පද්ධති මගින් පමණක් බැහැර කිරීමටද කටයුතු කර ඇති බැවින් නොයෙකුත් පිරිස් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.