බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමද ඉකුත්දා මෙවන් සාර්ථක විමර්ශනයක යෙදිණි.
කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් ඉකුත්දා පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දමා තිබිණි.
මේ පිළිබඳ විමර්ශන ඇරැඹූ එම කොට්ඨාසයට දින තුනක් ඇතුළතදී අදාළ ඝාතනයේ සුලමුලද අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වූ අපරාධකරුවන්ද අත්අඩංගුවට ගැනීමට හැකිවිය. කොඩිකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටියේ හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර ප්රදේශයේය. උඩුවිල ධම්මසිරි හිමියෝ මෙම ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති වූහ. වයස 65ක් විය. තවත් ස්වාමීන් වහන්සේලා කිහිපනමක්ද මෙහි වැඩ සිටිති.
ස්වාමීන් වහන්සේලා පිරිසක් පිරිවෙන් අධ්‍යාපනය ලබන අතර වයස අවුරුදු 12ක කුඩා සාමණේර හිමි නමක්ද විහාරාධිපති හිමියන් යටතේ පැවිදිබිමට පිවිස සිටියේය.
කිරිගලහේන මීගැත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි උන්වහන්සේ මෙම ආරණ්‍ය සේනාසනයට පැමිණ ඇත්තේ මීට වසර තුනකට කලිනි. කිරිගල සිරිවිජිත නමින් පැවිදිව සිටි උන්වහන්සේ ඉකුත් වසරේ සිවුරු හැරදමා කිරිගලහේන සිය නිවෙසට ගියේ ආරණ්‍ය සේනාසනයේ රැඳී සිටීමට නොහැකි බව පවසමිනි.
එලෙස සිවුරු හැරගිය උන්වහන්සේ මවුපියන්ගේ ආශීර්වාදයෙන් යළි සේනාසනයට ආවේ මීට මාස දෙකකට කලිනි. සාමණේර හිමියන් සේනාසනයට ගියද දෙවැනි වාරයේ උන්වහන්සේගේ දුක සැප බලන්නට මවත් පියාත් නිතර සේනාසනයට පැමිණියහ. සමහර දිනවල ඔවුහු සාමණේරයන් සමඟ දුරකථනයෙන් සුවදුක් විමසූහ.
එහෙත් මීට සති කිහිපයකට පෙර සිය මවට දුරකථන ඇමැතුමක් දුන් සාමණේරයන් වහන්සේ පැවැසූවේ තමාට තවදුරටත් සේනාසනයේ රැඳී සිටීමට අපහසු බවය.
“මට මෙතැන ඉන්න බැහැ අම්මේ.”
පුතුගේ කතාව ඇසූ හිමාලි තිගැස්සුණාය. ලොකු හාමුදුරුවන්ගෙන් ගෙදරට ලැබෙන සැලකිලි හේතුවෙන් උන්වහන්සේ අමනාප කර ගැනීම නුවණට හුරු නොවන බව දත් ඇය කුමක් කරන්නේදැයි සිය සැමියාගෙන් විමසුවාය.
“අම්මේ.. මට මෙහේ ඉන්න බැහැ. එක්කෝ අයියවත් මෙහෙ නතර කරන්න”
සාමණේර පොඩි හාමුදුරුවන්ගේ ඉල්ලීම අනුව සාමණේර හිමිගේ සොහොයුරාද සේනාසනයේ නතර කරන්නට හිමාලි කටයුතු කළාය.
තම සොහොයුරාටද හාමුදුරුවන්ගේ අඩන්තේට්ටම් සිදු වෙතැයි සිතූ පොඩිහාමුදරුවෝ දින කිහිපයක් ගතවෙත්ම ඔහු ආපසු ගෙන්වා ගන්නා ලෙස මවට කීවේය.
“අම්මේ අයියව මෙහෙ තියන්න එපා. ලොකු හාමුදුරුවෝ අද යකෙක් වගේ..”
හිමාලි එහි ඇත්ත නැත්ත සිය වැඩිමහල් පුතුගෙන්ද විමසුවාය.
“ඔව් අම්මේ... මට මෙහෙ ඉන්න බැහැ. මාව ඇවිල්ලා අරන් යන්න..”
අනතුරුව ඇය සිය සැමියාට දුරකථන ඇමැතුමක් දී හැකි ඉක්මනින් ආරණ්‍යයට ගොස් ලොකු පුතා ගෙදර කැඳවාගෙන එන ලෙස ඉල්ලුවාය. ඒ අනුව සැමියා ලොකු පුතා කිරිගල හේන සිය නිවෙසට රැගෙන ආවේය.
“පුතේ මම ඔය කතාව ලොකු හාමුදුරුවන්ගෙන් ඇහැව්වොත් හාමුදුරුවෝ කියයි පුතා කියන්නෙ බොරු කියලා. ඒ නිසා ලොකු හාමුදුරුවෝ ඔයාට කරදර කරනවා නම් ඒවා ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න..”
හිමාලි සිය සාමණේර පුතුට එසේ ඔවදන් දුන්නාය. සාමණේර පුතාද මව කී ලෙසම ලොකු හාමුදුරුවන්ට හොරෙන් සියල්ල සිය ජංගම දුරකථනයේ සටහන් කරගත්තේය.
“අම්මේ මට තවත් ඉන්න බැහැ. ලොකු හාමුදුරුවන්ගෙන් කරදරයි. මම ඒවා රෙකෝඩ් කරලා තියෙන්නේ. මාව ඇවිත් අරගෙන යන්න”
හිමාලි තුළ ලොකු හාමුදුරුවන් කෙරෙහි තදබල කෝපයක් ඇති වූයේ සාමණේර පුතුගේ ඔය කතාව ඇසීමත් සමඟය.
“ඔයා කලබල නොකර ඉන්න. මම හෙට පන්සලට එන්නම්..”
මෙසේ කියමින් සාමණේර පුතු අස්වැසූ හිමාලි පසුදාම කොඩිකන්ද ආරණ්‍යයට ගියේ සිය පුතු නිවෙසට රැගෙන යෑමේ අදහසින්ය.
ආරණ්‍යයට ගිය හිමාලි සාමණේර පුතු මුණගැසී ලොකු හාමුදුරුවන්ගෙන් සිදුවන අඩන්තේට්ටම් මොනවාදැයි විමසුවාය. සාමණේර හිමියන් සියල්ල මවට හෙළි කළේ පටිගත කරන ලද හඬපටද සමඟිනි. මින් කෝපයට පත් වූ හිමාලි ඒ ගැන ලොකු හාමුදුරුවන්ගෙන් විමසුවාය. සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ ලොකු හාමුදුරුවෝ” දැන් මෙහෙ හිටියා ඇති. ඔයගොල්ලො මෙහෙන් යන්නැයි” තදින් කීහ.
“පුතාගේ හිසේ අමාරුවකුත් තියෙනවා. ඒකට බෙහෙත් ටිකක් ගන්නත් එක්ක අපි පුතාව ගෙදර එක්කරගෙන යනවා”
නිවෙසට ගියද ලොකු හාමුදුරුවන් කෙරෙහි හිමාලිගේ ඇතිව තිබූ තරහ පහව නොගියේය. තම පුතුට සිදුවූ හිරිහැරවලට හිලව් කිරීමට උන්වහන්සේ බියකොට මුදල් ලබාගත යුතු යැයි ඇය සිතුවාය. එහෙත් සැමියාගෙන් ඊට ලැබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොවේ.
“කන්න දුන්න අත නැති කරගන්න එපා.!” සැමියා එසේ කියා මඟ හැර ගියවිට මව සාමණේර පුතුට සිදුවන අඩන්තේට්ටම් ගැන තම සමීප මිතුරු සුමිත්ට කියා සිටියේ පටිගත කරන ලද සාක්කිද පෙන්වමිනි.
හිමාලි සිය සැමියා සමඟ ජීවිකාව සලසා ගත්තේ වෙළෙඳසල්වලට බයිට් වර්ග සැපයීමෙනි. කොරෝනා වසංගතය නිසා එම ව්‍යාපාරය ඇනහිට තිබිණි. ඉන් පසුව ඇය සුමිත් හා තවත් පිරිමින් කිහිපදෙනකු සමඟ බේරා්කර් වැඩ කරමින් රට වටේ කරක් ගැසුවාය. පැරැණි කෞතුක භාණ්ඩ එකතු කරමින් ඇය සුමිත් සමඟ දස අතේ ගියාය. ලැගුම්හල්වල එක කාමරයක රැය දෙක තුනක් පහන් කළාය. එලෙස ගොස් එකතු කරගන්නා පෞරාණික භාණ්ඩ වැඩි මිලට විකිණීමෙන් මොවුහු මුදලක් උපයා ගත්හ. හිමාලිගේ සැමියා මේවා හොඳින් දැන සිටියත් ඇගේ ක්‍රියාකලාපයට අත පෙවීමට ගියේ නැත.
“ඒක නෙමෙයි. ඔය ලොකු හාමුදුරුවෝ ගාව හොඳට සල්ලි තියෙනවා. කෝටි පහක් විතර බැංකුවේ දාලාලු ඉන්නේ. අපිටත් උදවු කරනවානේ. මට අපේ බිස්නස් එක කරන්න සල්ලිත් දෙන්නම් කිව්වා. ඒත් මේ පුතාට කරපු තිරිසන් වැඩේට ඕකට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ.”
හිමාලි කිහිපවතාවක්ම සුමිත්ට එසේ කීවාය. සුමිත් විවාහකයෙකි. ඔහුගේ බිරිය මිල්ලනිය පොලිසියේ පොලිස් කාන්තාවකි. තම සැමියා හිමාලි සමඟ රට වටේ යන බව ඇයද හොඳින් දැන සිටියාය. එහෙත් ඇය ඒ ගමන් නතර කරන්නට ගියේ නැත. හිමාලිවද ඇය හොඳින් දැන සිටියාය.
“ඒක නෙවේ මම හාමුදුරුවන්ට කෝල් කරලා කියන්නම් අපිට සල්ලි දුන්නේ නැත්නම් පොලිසියට පැමිණිල්ලක් දාලා හාමුදුරුවෝ ලැජ්ජා කරනවා කියලා. මාධ්‍යයට මේවා දෙනවා කියලා. එතකොට එයාට පන්සලේ ඉන්න බැරිවෙනවා එහෙම කරමු.” හිමාලි සුමිත්ට යෝජනා කළාය.
ඒ අනුව ඇය ලොකු හාමුදුරුවන්ට වරින්වර දුරකථනයෙන් කතාකොට තම පුතුට සිදුවූ අතවර හෙළි නොකර සිටීමට මුදල් ඉල්ලුවාය. ඇය තමාට එරෙහිව පොලිසියට යනු ඇතැයි බියවූ හාමුදුරුවෝ ලක්ෂ පහක මුදලක් දෙන බවට පොරොන්දු වූහ.
එහෙත් පොරොන්දුව ඉටුවීම දිනෙන් දින ප්‍රමාද විය. හිමාලිද ඇමැතුම් දෙමින් මුදල් ඉල්ලුවාය.
“ මේ වැඩේ හරියන්නේ නැහැ. අපි පන්සලට ගිහින් හාමුදුරුවෝ බය කරලා සල්ලි ගමු!”
හිමාලිගේ ඒ යෝජනාවට සුමිත් එකපයින් කැමැති විය. ඒ සඳහා තවත් කිහිපදෙනකු එක් කරගත යුතු බවද සුමිත් කීවේය.
“මේක අපි දෙන්නට විතරක් කරන්න බැහැ. ඔය වැඩේට හොඳම මිනිහා තමයි ලක්මාල්. අපි මිනිහව සෙට් කර ගමු. ලක්මාල්ටත් කීයක් හරි දෙන්න බැරියැ.”
“ඒක හරි.. ලක්මාල්ට කියමු තවත් දෙතුන් දෙනකු දාගෙන මේ වැඩේට බහිමු කියලා”
“ඔයාට ෂුවර්ද හාමුදුරුවෝ සල්ලි දෙයි කියලා”
“දුන්නෙ නැත්නම් අපි රෙකෝඩ් කරපුවත් අරගෙන පොලිසි යනවා කියමු. ඒ බයට හාමුදුරුවෝ සල්ලි දෙනවා”
ඒ ඉකුත් ජනවාරි මස දෙවැනිදාය. වේලාව රාත්‍රි දහයට පමණ ඇත. රතුපාට ඩෙලිකා වෑන් රියක් අඳුර කපාගෙන ආරණ්‍ය සේනාසනයට ඇතුළු විය. සේනාසනයේ ඒ මොහොතේ වැඩ හිටියේ විහාරාධිපති ධම්මසිරි හිමියන් පමණි. අනෙක් ස්වාමීන් වහන්සේලා පිටට වැඩම කර තිබිණි. ඒත් තවත් පුද්ගලයන් දෙදෙනකු එදින රාත්‍රිය සේනාසනයේ ගත කරමින් සිටියහ. ඒ පිය පුතු දෙපළකි. පුතා මීට කලින් මෙම ආරණ්‍ය සේනාසනයේ පැවිදිව සිට සිවුරු අතහැරගොස් යළි පැවිදි වීම සඳහා සේනාසනයට සිය පියා සමඟ පැමිණ තිබිණි. රාත්‍රියේ ආ වාහනයට කාගෙත් නෙත් යොමුවිණි.
ඩෙලිකා වෑන් රියෙන් පැමිණි හත් අට දෙනකු ධම්මසිරි හිමියන්ට පහර දෙන්නට වූහ. පිය පුතු දෙපළ ඒ දෙස බලා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.
එකෙක් පිරිස අතර සිටි තරුණ කාන්තාවකට නියෝග කළේය. එහෙත් හාමුදුරුවන් ලවා ලිපියක් ලියා ගැනීමට ගැනුණු උත්සාහය අසාර්ථක විය. ඒ උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ නිසාය.
ඒ ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පිරිස උන්වහන්සේට පහර දෙන්නට වූහ.
“එහෙනම් .. වරෙන් යන්න පොලිසියට.. එහෙ ගිහින් මේක විස¼දගමු.”
උන්වහන්සේද පොලිසියට යෑමට කැමැත්ත පළ කළද පැමිණි දෙතුන් දෙනකු උන්වහන්සේ බලහත්කාරයෙන්ම වෑන් රියට දමාගත්හ. තව දෙදෙනකු සේනාසනයේ සිටි පිය පුතු දෙපළ සතුව තිබූ ජංගම දුරකථන දෙක පැහැරගෙන ඒවා පොළොවේ ගසා පොඩි පට්ටම් කර දෙදෙනාම එතැන දණ ගස්සවා “කාට හරි කිව්වොත් තොපිලා දෙන්නම මරනවා” යැයි තර්ජනය කළේය.
විහාරාධිපති හිමියන් පැහැරගත් පිරිස වෑන් රියෙන්ම පලාගිය අතර පිය පුතු දෙපොළ සිටියේ තැති ගැන්මෙනි.
ඒ අතර පිටත වැඩ සිටි හිමිනමක් වැඩම කළහ. එහෙත් බියට පත්ව සිටි පිය පුතු දෙපළ ලොකු හාමුදුරුවන් පැහැරගෙන ගිය බව උන්වහන්සේට කීවේ නැත.
පිය පුතු දෙපළ සිදුවූ අකරතැබ්බය ස්වාමීන් වහන්සේට හෙළි කළේ පසුදාය.
“ඇයි මනුස්සයෝ ඕක ඊයේ රෑම මට කියන්න තිබුණනේ. මේ වෙනකොට ලොකු හාමුදුරුවන්ට මොනවා වෙලාද දන්නේ නැහැ. කෝකටත් මම පොලිසියට ගිහින් ලොකු මහත්තයා හම්බවෙලා මේ ගැන කියන්නම්.”
එසේ කී උන්වහන්සේ ඒ මොහොතේම හංවැල්ල පොලිසියට ගොස් ස්ථානාධිපතිවරයා හමුවී සිද්ධිය ගැන පැමිණිලි කළහ.
“මම එතකොට රුවන්වැල්ලට ගිහින් හිටියේ. පන්සලේ ඉ¼දලා තියෙන්නේ මහණ වෙන්න ආව ළමයෙකුයි. එයාගේ තාත්තයි. ඊයේ රෑ තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. ලොකු හාමුදුරුවන්ට ගහලා තමයි රතුපාට වෑන් එකකින් දාගෙන ගිහින් තියෙන්නේ. මේ දෙන්නා බයට මේක මට කිව්වේ අද උදේ ඒක දැනගත්ත ගමන් තමයි මම ආවේ.”
විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන උන්වහන්සේගේ ප්‍රකාශය සටහන් කර ගත් පොලිසිය ඉන් අනතුරුව ධම්මසිරි හිමියන් පැහැර ගැනීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය.
“කෝ දැන් පන්සලේ හිටපු තාත්තයි පුතයි” අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුජිත් වෝල්ටර් මහතා ස්වාමීන් වහන්සේගෙන් ඇසුවේය.
“හරි අපි එහෙනම් පන්සලට යමු”
පොලිස් පරීක්ෂක සුජිත් ස්වාමීන් වහන්සේද සමඟ කොඩිකන්ද ආරණ්‍ය සේනාසනය වෙත ගියේය. ඒ වනවිටත් පිය පුතු දෙපොළ කාටත් හොරා නිවෙස්වලට ගොස් තිබිණි. පසුව ඔවුන් පදිංචිව සිටි දුම්කොළහේන ප්‍රදේශයේ නිවෙසට පොලිස් පණිවුඩයක් යැවිණි. ඒ අනුව පිය පුතු දෙදෙනා හංවැල්ල පොලිසියට ආහ.
“දැන් තමන්ලා දැක්කනේ එතනට ආපු කට්ටිය”
“අට දෙනෙක් විතර හිටියා. තව ගෑනු කෙනකුත් හිටියා.”
“ඒ කවුද? තමුන්ලා අඳුනගත්තේ නැද්ද ඔය එක්කෙනෙක්වත්.”
“ඔය පන්සලේ හිටියා පොඩි හාමුදුරුනමක්. මගේ මතකයේ හැටියට ඒ හාමුදුරුවන්ගේ අම්මා තමයි ඒ ආවේ.”
“තමන් කොහොමද ඒ ගෑනු කෙනා දන්නේ?”
“මගේ පුතා මහණ වෙලා ඉන්නකොටත් ඔය ගෑනු කෙනා එයාගේ පුතාව බලන්න පන්සලට ආවා ගියා සර්.”
පොලිස් පරීක්ෂක සුජිත්ට පොටක් පෑදිණි. ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරන ලද්දේ ඉන් පසුවය. ඒ වනවිටත් හංවැල්ල පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර මහතා පොඩි උන්වහන්සේගේ කිරිගලහේන නිවෙසට ගොස් විමර්ශන ආරම්භ කර තිබිණි.
මෙසේ හංවැල්ල පොලිසිය විමර්ශන සිදුකරන අතරතුර බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයටද මෙහි විමර්ශන සිදුකරන ලෙස බස්නාහිර පළාත් ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් උපදෙස් දෙන ලදී. ඒ අනුව එම කොට්ඨාසයේ අධ්යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතා වෙත විමර්ශන පැවැරුණු අතර අබේසේකර මහතා නිවාඩු ලබා සිටි බැවින් වැඩබලන අධ්යක්ෂ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතා වෙත විමර්ශන භාර කෙරිණි. ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු කණ්ඩායමකට පැහැරගෙන ගිය ධම්මසිරි හිමියන් සොයාගැනීමේ විමර්ශන භාරදෙන ලදී.
“අපිට කිව්වා ටීම් දෙකක් අරගෙන යන්න කියලා. මමයි පොලිස් පරීක්ෂක හේමන්තයි තමයි ටීම් දෙක අරන් ගියේ. අපි මුලින්ම ගියේ ආරණ්‍ය සේනාසනයට. ගිහින් ඉන්න හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා. ඔය අතරේ අපිට දැනගන්නට ලැබුණා ආරණ්‍යයේ හිටපු කුඩා සාමණේර නමක් කිසියම් කරදරයකට ලක්වෙලා මෙතන ප්‍රශ්නයක් තිබුණා කියලා. ඒ වගේම අපි දැනගත්තා පන්සලේ හිටපු දෙන්නා හාමුදුරුවන් පැහැරගෙන ආව කට්ටියත් එක්ක ඔය සාමණේර හාමුදුරුවන්ගේ අම්මත් හිටියා කියලා තියෙනවා කියලා. ඒ හෝඩුවාවට අපි කෙළින්ම ගියේ හොරණ කිරිගල්නේන පොඩි හාමුදුරුවන්ගේ ගෙදරට.
ඒ යනකොට පොඩි හාමුදුරුවොයි එයාගේ අයියයි නංගියි විතරයි ගෙදර හිටියේ.
“කෝ පොඩි හාමුදුරුවනේ අම්මා?”
“අම්මා ඊයේ සුමිත් මාමාත් එක්ක ගියා. තවම ආවේ නැහැ.”
පොඩි හාමුදුරුවෝ පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාට කීය. ඒ අතරතුර නිවෙසේ නතර කර තිබූ යතුරුපැදියකට ස්ථානාධිපතිවරයාගේ දෙනෙත් යොමුවිය.
“කාගෙද මේ මෝටර් බයික් එක?”
“ඒක සුමිත් මාමගේ. එයා ඒකෙන් තමයි මෙහේ ආවේ.”
“තාත්තා වෑන් එක අරගෙන ගියා. තවම ආවේ නැහැ.”
“ඔයාලගේ වෑන් එක මොන පාටද”
“ඒක රතුපාටයි. ඩෙලිකා එකක්.”
“එතකොට මම හිතුවා පොඩි හාමුදුරුවන් පැහැරගෙන ගිහින් තියෙන්නේ මෙයාලගේ රතුපාට වෑන් එකෙන්. ඒකට අම්මයි, තාත්තයි. සුමිත් කියන කෙනාත් සම්බන්ධයි කියලා. පස්සේ අපි පොඩි හාමුදුරුවන්ට කියලා එයාලගේ අම්මගෙයි, තාත්තගෙයි පින්තූර දෙක තුනක් ඉල්ලගත්තා. ඒ පින්තූර හංවැල්ල පොලිසියට යැව්වා. ඒ පින්තූරවල ඉන්න දෙන්නා අර පන්සලේ හිටිය තාත්තයි, පුතයි හඳුනනවද කියලා දැනගන්න.''
ටික වේලාවකින් අපිට දැන ගන්න ලැබුණ තාත්තයි පුතයි ඒ ෆොටෝවල ඉන්න ගෑනු කෙනා හඳුනගත්තා කියලා. ඒ ගෑනු කෙනා තමයි එදා පන්සලට ආව කට්ටියත් එක්ක ඉඳලා තියෙන්නේ.?”
ඉන්පස්සේ අපි අර ගෙදර තිබුණු බයික් එකේ අංකය ආර්.එම්.වී. එකට දන්වලා අයිතිකරුගේ නම ගම හොයාගත්තා. ඒක අයිති වෙලා තිබුණේ ගෑනු කෙනකුට. ඇඩ්රස් එක මිල්ලනියේ. ඒ පාර අපි මිල්ලනිය ඔය ලිපිනයට ගියා. ‘සැනසුම් පියස’ කියන ගෙදරට. බැලින්නම් ඒ ගෑනු කෙනා පොලිස් කාන්තාවක්. වැඩ කරන්නෙත් මිල්ලනිය පොලිසියේ. අපි එයාට කාරණාව පහදලා දීලා කෝ ඔයාගේ මහත්තයා කෝ ඔයාගේ බයික් එක කියලා නොදන්නවා වගේ ඇහැව්වා.
එතකොට ඒ පොලිස් කාන්තාව කිව්වා එයා මගේ බයික් එකත් අරගෙන හිමාලිගේ ගෙදරට යනවා කියලා ගියා තවම ආවේ නැහැ කියලා.
“එයා එක්ක මගේ මහත්තයා එකතුවෙලා බේරා්කර් වැඩ කරනවා. පරණ බඩු බිස්නස් කරනවා.”
පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා විමර්ශන ඉදිරියට ගෙන ගිය ආකාරය එසේ පැහැදිලි කරන්නට විය. ඉන්පසුව සුමිත් නමැත්තාගේ ජංගම දුරකථන අංකය ලබාගත් විමර්ශන නිලධාරීහු ඊළඟට කළේ සුමිත්ගේ ජංගම දුරකථන අංකයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමයි.
මේ අතර හංවැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාද කණ්ඩායමක් සමඟ හොරණ කිරිගල හා ඒ අවට මෙහෙයුමක් දියත් කළේය.
“අපි ඒ පාරේ ඇම්බුෂ් එකක් දාගෙන හිටියා. ඒ ඉන්නකොට අපි රතුපාට ඩෙලිකා වෑන් එක අල්ල ගත්තා. ඒක පැදෙව්වේ ඔය පොඩි හාමුදුරුවන්ගේ තාත්තා. අපි එයාගෙන් ප්‍රශ්න කළා. කෝ ලොකු හාමුදුරුවෝ කියලා. එයා කිව්වා අනේ සර්.. මම දන්නේ නැහැ කියලා.”
“එහෙනම් මිනිහෝ උඹට ඔය වෑන් එක කොහොමද හම්බ වුණේ? ඔය වෑන් එකෙන් නේද ලොකු හාමුදුරුවෝ අරගෙන ගියේ!
“අනේ නැහැ සර්.. මේක තිබුණේ මගේ නෝනා ළඟ. එයා ඊයේ මේක අරගෙන ගිහින් තිබුණා. එයත් එක්ක බිස්නස් කරන සුමිත් එක්කලා. සුමිත් තව කෙනෙක් එක්ක අපේ ගෙදර ඇවිත් තිබුණා. එයාගේ මෝටර් සයිකලයෙන්, පස්සේ සයිකලේ ගෙදර දාලා එයයි මගේ නෝනයි මේ වෑන් එකෙන් ගිහින් තිබුණා. අර සුමිත් එක්ක ආව කෙනා තමයි වෑන් එක එළවලා තිබුණේ.”
“එතකොට තමන්ට කොහොමද ඕක හම්බ වුණේ...!”
“ඊයේ මගේ නෝනා මට කතා කරලා කිව්වා එයාගේ ඇඳුම් ටිකකුත් අරගෙන එයාගේ බයික් එකෙන් බියගමට එන්න කියලා. මම බියගමට ගියා. එයා වෑන් එකෙන් තවත් කෙනෙක් එක්ක ඇවිත් හිටියා. මට කිව්වා පොඩි ප්‍රශ්නයක් වුණා. ඔයා මේ වෑන් එක අරන් ගිහිල්ලා කොහේ හරි හංගන්න කියලා. “මම මොකක්ද ප්‍රශ්නෙ කියලා ඇහැව්වා. පස්සේ ඇවිත් කියන්නම් කිව්වා. මම එයාට ස්කූටි බයික් එක දීලා වෑන් එක අරගෙන ගෙදර ආවා.”
“එතකොට තමයි දැනගත්තේ පොලිසියෙන් ගෙදර ආවා කියලා. මාව අහුවෙයි කියලා බයට මම වෑන් එක අරගෙන පොලිසියට එන්නයි හිටියේ සර්” සැකකරුගේ ප්‍රකාශය සටහන් කර ගැනුණු අතර එම විමර්ශනවල ප්‍රගතිය නුගේගොඩ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාටද දැනුම් දීමට පොලිස් පරීක්ෂක සුජිත් පියවර ගත්තේය.
වෑන් රියේ හිමිකරු කොටු වීම සැල වීමත් සමඟ බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාද හංවැල්ල පොලිසියට පැමිණ විමර්ශනවලට උපදෙස් දුන්නේය.
සුමිත් නමැත්තාත් සාමණේර හිමියන්ගේ මවත් ධම්මසිරි හාමුදුරුවෝ පැහැරගෙන යෑමට ඍජුව සම්බන්ධව බව ඒ වන විට සියලුම පොලිස් නිලධාරීන්ට ඒත්තු ගොස් තිබිණි. ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සුමිත් නමැති පුද්ගලයාගේ ජංගම දුරකථන වාර්තා ඔස්සේ විමර්ශන සිදු කරමින් සිටි අතර ජනවාරි 2 වැනිදා හා 3 වැනිදා උදෑසන වන විටත් සුමිත් නමැත්තා විසින් ලබාගත් දුරකථන ඇමැතුම් කොළොන්නාව, කැලණිය, මාකොළ හරහා හුවමාරු වී ඇති බව එහිදී හෙළි විය.
“ඔය ටවර් ලොකේෂන් අනුව ගිහින් අපි එක ලිපිනයක් සොයාගත්තා. ඒ ගෙදර තිබුණේ මාකොළ උද්‍යාන පාරේ.... ඉන් පස්සේ අපි පසුවැනිදා උදේම මාකොළ ඔය ලිපිනයට ගියා. ඒක දෙමහල් නිවෙසක්. යට තට්ටුවේ කාමර තුනයි උඩ තට්ටුවේ කාමර පහයි.
ගෙදර අයිතිකාරයා සිසිර කියලා කෙනෙක්. මිනිහා ඩුබායිවල වැඩ කරලා තියෙන්නේ. කොරෝනා නිසා එයා ලංකාවට ඇවිත් තිබුණා. එයාගේ නෝනයි දරුවොයි ඉන්නේ ඩුබායිවල. කොරෝනා හින්දා එයාට ආයෙත් ඩුබායි යන්න බැරිවෙලා මේ ගෙදර තනියම ඉන්නේ.
අපි මිනිහගෙන් ප්‍රශ්න කළා. හාමුදුරු කෙනෙක් අරගෙන ආවා නේද? කෝ හාමුදුරුවෝ කියලා. මිනිහා ඇත්තම කිව්වා. හාමුදුරුවෝ මෙහාට ගෙනාවා සුමිතුයි, හිමාලියි, ලක්මාලුයි. එයාගේ යාළුවො දෙතුන් දෙනෙකුයි සමඟ ආවේ. එයාලා හාමුදුරුවෝ කාමරයට දාලා අතපය බැන්දා. කටට රෙදි එබුවා.”
සිසිර සියලු විස්තර පොලිස් නිලධාරීන් ඉදිරියේ වමාරන්නට විය.
“අනේ සර්... මම මේ ඩුබායි ඉඳන් ආවේ. මම මේ මුකුත් දන්නේ නැහැ.”
“අද උදේ හාමුදුරුවෝ නැතිවෙලා හිටියේ. පස්සේ ලක්මාලුයි, සුමිතුයි, හිමාලියි හාමුදුරුවෝ ත්‍රීවීල් එකක දාගෙන මෙහෙන් ගියා. යන තැනක් කිව්වේ නැහැ. හාමුදුරුවන්ට මොනවා කළාද මම දන්නේ නැහැ...”
“ඒ කියන්නේ හාමුදුරුවෝ මැරිලද..”
“ඔව් සර්. එයාලා මට කිව්වා මාර වැඩේනේ හාමුදුරුවෝ මැරිලා කියලා..!”
දෙමහල් නිවෙස සෝදිසි කිරීමේදී ධම්මසිරි හිමියන්ට අයත් දිනපොතක්, බැංකු පොතක්, ඉඩම් ඔප්පුවක් හා කුඩා සාමණේර හිමියන්ගේ විස්තර ඇතුළත් ලිපි ගොනුවක් නිවෙසේ කාමරයක තිබියදී සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ.
“කොහෙන්ද මේවා..?” කවුද ගෙනාවේ...!
“හිමාලි තමයි ගෙනාවේ සර්...”
ඒ අනුව එම භාණ්ඩ සියල්ල පොලිස් භාරයට ගැනුණු අතර පැහැරගෙන පැමිණි ධම්මසිරි හිමියන් ඒවන විට අපවත් වී ඇති බවද නිලධාරීහු දැනගත්හ.
“හාමුදුරුවෝ ගෙනාපු දවසේ රෑ හාමුදුරුවන්ගේ අත පය බැඳලා කටට රෙදි කෑලි ඔබලා තමයි හාමුදුරුවෝ කාමරයේ තියාගෙන ඉඳලා තියෙන්නේ. පස්සේ සුමිත් කියලා තියනවා සිසිරට ලක්මාල්වයි ගෝලයන් හතර දෙනාවයි වැල්ලම්පිටියට ගිහින් බස්සලා එන්න කියලා. සිසිර එයාලා වැල්ලම්පිටියට බස්සලා ඇවිත්. ගෙදර ඉඳලා තිබුණේ හිමාලියි සුමිතුයි සිසිරයි විතරයි.”
“රෑ හාමුදුරුවෝ බැමි ලිහාගෙන පැනලා යන්න හදලා. සුමිත් කොහොම හරි අල්ල ගෙන හාමුදුරුවන්ට ගහලා අතපය ආයෙත් බැඳලා කටට ප්ලාස්ටර් එකකුත් ගහලා හාමුදුරුවන් කාමරයට දාලා වහලා.
උදේ නැඟිටලා ගිහින් බලන කොට හාමුදුරුවෝ මැරිලා. ඒ පාර කට්ටියම බය වෙලා. සුමිත් කතා කරලා ලක්මාල්ට කියලා ත්‍රීවීලර් එකක් අරන් මාකොළ ගෙදරට වරෙන් කියලා. මොකද වෑන් එකත් යවලනේ තිබුණේ. හිමාලිගේ ස්කූටි බයික් එක විතරයි තිබිලා තියෙන්නේ.
පස්සේ ලක්මාල් ත්‍රීවීලර් එකක් අරගෙන පාන්දරම මාකොළට ඇවිත් මැරුණු හාමුදුරුවෝ ත්‍රීවීලර් එකේ මැද්දේ දාගෙන ගිහින් තියෙන්නේ. ලක්මල් තමයි ත්‍රීවීලර් එක එළවල තිබුණේ. ඔය සේරම අපි දැනගත්තේ ගෙදර අයිතිකාර සිසිරගෙන් ප්‍රශ්න කරලා. එතැනින් එහාට එයාලා හාමුදුරුවන්ගේ මිනිය කොහේ අරන් ගියාද කියලා සිසිර දන්නේ නැහැ. අපරාධයකට අනුබල දීමේ චෝදනාව යටතේ අපි මිනිහවත් ඇරස්ට් කළා.”
පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා කීවේය.
ඉන් පසුව නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ ධම්මසිරි හිමියන්ගේ සිරුර සොයා ගැනීමය. පොලිසිය ඒ වන විටත් සැක කළේ මියගිය උන්වහන්සේගේ සිරුර කොතැනක හෝ සඟවන්නට හෝ ජලාශයකටද දමන්නට ඇති බවය. අවට පොලිස් ස්ථානවලට මේ බව දැනුම් දී උන්වහන්සේ සොයා ගැනීමට නිලධාරීන් උත්සාහ කළද ඒ කිසිවක් සාර්ථක නොවීය.
“ඔය අතරේ තමයි අපේ කුමාර කියන පොලිස් නිලධාරියාට ඔත්තුවක් ආවේ. පිටස්තර ජෝඩුවක් ඇවිත් තලවතුගොඩ ගෙදරක හැංගිලා ඉන්නවා කියලා. ඒ නිසා අපි ටීම් එකක් යවලා ඒ ගෙදර සෝදිසි කරලා මේ ජෝඩුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී තමයි හෙළි වුණේ මේ අපි හොයන හිමාලියි, සුමිතුයි කියලා. ඉන් පස්සේ අපි ලොකු හාමුදුරුවන්ගේ ඝාතනය ගැන ප්‍රශ්න කළා. දෙන්නම ගිරව් වගේ විස්තරේ කිව්වා.”
මේ අතර පසුගිය 4 වැනිදා කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත නිර්නාමික දුරකථන පණිවුඩයක් ලැබිණි. ඒ කොටදෙණියාව නාපාන පොදු සුසාන භූමියේ නාඳුනන පුද්ගලයකුගේ සිරුරක් පිලිස්සෙමින් තිබෙන බවය. පසුව කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති පී.එන්. පුෂ්පකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් නාපාන සුසාන භූමියට ගොස් විමර්ශන ආරම්භ කළහ. මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමෙන් පසු සිද්ධිය වූ ස්ථානයට පැමිණි මිනුවන්ගොඩ අතිරේක මහෙස්ත්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය පිලිස්සී ගිය සිරුර පරීක්ෂා කිරීමෙන් පසු එය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන්නට උපදෙස් දුන්නාය.
ඒ වන විට ස්වාමීන් වහන්සේ නමක් පැහැරගෙන ගොස් ඇති බවට කොටදෙණියාව පොලිසියද දැනුවත් වී සිටි නිසා මේ බව හංවැල්ල පොලිසියටත් මිරිහාන ඒකකයටත් දැනුම් දෙන ලදී.
ඒ අනුව පොලිසිය කොඩිකන්ද ආරණ්‍ය සේනාසනය දැනුවත් කිරීමෙන් පසු සේනාසනයේ වැඩවසන ගල්ලව සිරිධම්ම හිමියන් හා විජිතපුර සුමේධ හිමියන් විසින් මීගමුව රෝහල් මෘත ශරීරාගාරයට පැමිණ පිලිස්සී මියගොස් සිටින්නේ ධම්මසිරි හිමියන් බවට හඳුනාගන්නා ලදී.
මළ සිරුරේ හිස බූ ගා තිබූ බැවින් එය හඳුනාගැනීමට පහසු වී තිබිණි.
මේ වන විට හිමාලිත්, සුමිතුත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයේ සිටි බැවින් ඔවුන්ගෙන් ප්‍රශ්න කොට සිරිධම්ම හිමියන්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. ඒ අනුව සිරිධම්ම හිමියන් පැහැර ගෙන ගියේ උන්වහන්සේ බයකොට මුදල් ලබා ගැනීම සඳහා බවද ඔවුහු පොලිසිය හමුවේ කියා සිටියහ.
“අපි මරන්න කියලා නෙමේ සර් අරගෙන ගියේ. මගේ පුතාට කරපු දේට බය කරලා පොලිසි යනවා කියලා සල්ලි ඉල්ලා ගන්නයි. ඒත් උදේ බලනකොට හාමුදුරුවො නැතිවෙලා හිටියා අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.”
හිමාලි පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට වූවාය. ධම්මසිරි හිමියන් පැහැරගෙන පැමිණි තැන සිට උන්වහන්සේගේ සිරුර පුලුස්සා දමන තුරු සිදුවූදේ එකක් නෑර පැවැසූ ඇය ඊට සම්බන්ධ වූ ලක්මාල් ඇතුළු ගෝලබාලයන් ගැනද පොලිසියට කීවාය.
ඇය දිවුරා දිවුරා කීවේ උන්වහන්සේට පහර දුන්නද උන්වහන්සේ ඝාතනය නොකළ බවය.
“හරි... ඒක බලාගන්න පුළුවන් මරණ පරීක්ෂණ වාර්තාව ආවට පස්සේ හාමුදුරුවෝ මැරුණද මැරුවද කියලා.”
පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ඔවුන් ඉදිරියේ පැවැසුවේය.
දැන් ඒවා වැඩක් නැහැ. තමන්ලා පන්සලට ඇවිල්ල හමුදුරුවෝ පැහැරගෙන ගියානේ. ඒකට ආවේ කවුරුද කියලා කියන්නකෝ.” පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා සැකකාරියගෙනුත් සැකකරුගෙනුත් ඇසීය. ඒ අනුව ධම්මසිරි හිමියන් ඝාතනයේ නොදත් තොරතුරු දෙදෙනාම හෙළි කළහ.
“ඔය හිමාලි කියන කාන්තාව සුමිත් කියන පුද්ගලයාට කියනවා හාමුදුරුවන්ගෙන් සල්ලි ගන්න මොනවාහරි කරන්න ඕන කියලා. ඉන් පස්සේ මෙයාලා මේ ගැන ලක්මාල්ට කියනවා. ලක්මාල් ඉන්නේ කොළොන්නාවේ. ඔහොම කතා කරගෙන ජනවාරි දෙවැනිදා ලක්මාල් එයාගේ ගෝලයෙක් එවනවා අමිල කියලා බස් එකේ හොරණට. සුමිත් එයාගේ බයික් එකේ ගිහින් අමිලත් එක්ක එනවා හිමාලිගේ ගෙදරට. ඇවිත් සුමිත්ගේ බයික් එක හිමාලිගේ ගෙදර දාලා ගෙදර තියෙන රතුපාට ඩෙලිකා වෑන් එක අරගෙන යනවා. වෑන් එක පදින්නේ අමිල කියන කෙනා. ඒගොල්ලෝ කෙළින්ම යන්නේ කොළොන්නාවට. එතැනදී වෑන් එකට නඟිනවා ලක්මාලුයි එයාගේ ගෝලයෝ ආකාශ්, රන්දීර් ඇතුළු සෙට් එක. ගිහින් මේ අය එනවා කොඩින්ද ආරණ්‍යයට. එන අතර මේ හත්දෙනාම මඟදි කඩයක් ගාව වෑන් එක නතර කරලා තේ බොනවා. ඒවා එතැන තියෙන සී.සී.ටී.වී. කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මේ සෙට් එකේ අවුරුදු 15ක කොල්ලෙක් ඉන්නවා. මේ අය ඒ කොල්ලා අරගෙන ගියේ හාමුදුරුවෝ බ්ලැක්මේල් කරන්නත් එක්ක. ආරණ්‍යයට ගිහින් හාමුදුරුවන්ට ගහලා ගහලා පොලිසියට යමු කියලා වෑන් එකේ දාගෙන මෙයාලා ගියේ සිසිරලාගේ ගෙදරට.”
පොලිස් පරීක්ෂකවරයා සිදුවීම එකින් එක පැහැදිලි කළේය. මෙලෙස මාකොළ සිසිරගේ නිවෙසට රැගෙන එන ධම්මසිරි හිමියන්ගේ අත්, දෙපා හා මුඛය ආවරණය කිරීමත්, පහරදීමත් නිසා උන්වහන්සේ මරණයට පත්වූ අතර මින් බියට පත්වුණ හිමාලි එතනින් එහාට කළ දේ මෙසේ විස්තර කළාය.
“හාමුදුරුවෝ මැරුණා කියලා දැනගත්තට පස්සේ මම මහත්තයාට කතා කළා. එයා ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඉන් පස්සේ මම සිසිරව බස් එකේ යැව්වා ගැලනිගමට. ඒ අතරතුර මගේ මහත්තයාව සෙට් කරලා දෙන්නම් එයාත් එක්ක ගිහින් වෑන් එක අරගෙන එන්නම් කියලා. ඒත් මට මහත්තයා කන්ටෑක්ට් කරගන්න බැරිවුණා. එයා ෆෝන් එක ඉස්සුවේම නැහැ. සිසිරත් හිස් අතින්ම ගෙදර ආවා.”
හිමාලි පොලිස් නිලධාරීන් ඉදිරියේ කීවාය. ඉන් අනතුරුව ඇතිවූ කරුණු කාරණා පොලිස් පරීක්ෂකවරයා හෙළි කළේ මෙසේය.
“ඉන් පස්සේ මෙයාලා ලක්මාල්ට කතා කරලා තියෙනවා ඉක්මනට ත්‍රීවීලර් එකක් අරන් මාකොළට එන්න හාමුදුරුවෝ මැරිලා කියලා. ලක්මාල් එයාගේ බයික් එකෙන් යාළුවකුගේ මරණ ගෙදරකට ගිහින් තුන් දෙනෙක් යන්න ඕන උඹේ ත්‍රීවීලර් එක පොඩ්ඩකට දීපන් කියලා ඒ ත්‍රීවීලර් එකත් අරගෙන ආකාශ් කියන යාළුවත් එක්ක මාකොළට ඇවිත් හාමුදුරුවන්ගේ සිවුර ගලවලා ගෙදර අයිතිකාරයොගේ කලිසමකුයි, ෂර්ට් එකකුයි අන්දලා හාමුදුරුවෝ ත්රීවිලර් එකේ දාගෙන ගිහින් තියෙනවා.
ත්‍රීවීලර් එකේ එක් පැත්තක හිමාලි, අනිත් පැත්තේ සුමිත්, හාමුදුරුවෝ මැද ආකාශ් හිමාලිගේ ස්කූටි බයික් එක පැදගෙන ත්‍රීවීලර් එක පස්සෙන් පෙට්‍රල් ෂෙඩ් එකක් ගාවට ඇවිත් එතැනදී ආකාශ් හිමාලිට බයික් එක දීලා ත්‍රීවීලර් එකට නැඟලා තියෙනවා. හිමාලි රුපියල් 1000ක් දීලා පෙට්‍රල් කෑන් එකකට අරගෙන ත්‍රීවීලර් එක පස්සෙන් ගිහින් කොටදෙණියාව කනත්තට ගිහින් හාමුදුරුවෝ කනත්ත උඩ වළකට දාලා පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙන්නේ.”
ධම්මසිරි හිමියන්ගේ ඝාතන සුලමුල එසේ අනාවරණය වෙද්දී පොලිස් කණ්ඩායම් ඊළඟට කළේ එම ඝාතනයට සම්බන්ධ වූ ලක්මාල් ඇතුළු සෙසු අය කොටුකර ගැනීමට උත්සාහ කිරීමය.
ඒ අනුව මුලින්ම ආකාශ් නමැති අයත් රන්දීර් නමැත්තාත් කොටුවුණු අතර ධම්මසිරි හිමියන් ඝාතනය වීමෙන් පසු රැගෙන ගිය ත්‍රිරෝද රියද කොළඹ ජාතික රෝහල අසලදී කොටු කර ගැනීමට මිරිහාන පොලිස් කණ්ඩායමට හැකි විය. ඒ අනුව ප්‍රශ්න කිරීමේදී ත්‍රිරෝද රියේ රියැදුරා කීවේ ලක්මාල් පැමිණ තමාගෙන් මළ ගෙදරකට යන බව කියා ත්‍රිරෝද රථය රැගෙන ගිය බවය.
මේ අතර ඒ වනවිට හංවැල්ල පොලිසිය විසින් මුලින්ම අත්අඩංගුවට ගත් වෑන් රිය හා සාමණේර හිමිගේ පියා අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට එක් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
හිමාලි හා සුමිත් යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කළ අතර පැය 48ක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබිණි.
මේ වනකොට ධම්මසිරි හිමියන්ගේ ඝාතනයට සම්බන්ධ එක් සැකකරුවකු හැරෙන්න අනිත් අය අල්ලලයි තියෙන්නේ. අල්ලන්න ඉන්නේ ලක්මාල් විතරයි. ලක්මාල් තමයි හාමුදුරුවෝ මැරුණට පස්සේ හාමුදුරුවන්ගේ සිවුර අරගෙන ගිහින් තියෙන්නේ. දැනට තියෙන ආරංචිවලට අනුව සිවුර අරගෙන ගිහින් මීතොටමුල්ලේ කුණු කන්ද ගාව තිබුණු කුණුත් එක්ක පුච්චලා කියලයි කියන්නේ.”
“මේ සියල්ලම වුණේ හාමුදුරුවෝ බය කරලා සල්ලි ගන්න හදපු නිසයි. හිමාලි කියන ගෑනු කෙනා දැනගත්තා හාමුදුරුවන්ට කෝටි ගණනක සල්ලි තියෙනවා කියලා. ලක්ෂයක පොලියක් ලැබෙනවත් කියලා. ඒ නිසා තමයි ඒ සල්ලි ගන්න සේරමලා ප්ලෑන් කරලා හාමුදුරුවෝ අරන් ගියේ. ඒ අතරේ හාමුදුරුවෝ හුස්ම හිරවෙලා මැරුණට පස්සේ කරගන්න දෙයක් නැතිව තමයි ගිහින් කොටදෙණියාව කනත්තේ පුච්චලා දැම්මේ.”
මේ පිළිබඳ කළ විමසීමකදී පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බස්නාහිර පළාත් භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්යක්ෂ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ මෙහෙයවීම මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ප්රමුඛ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්, සැරයන්වරුන් වන ප්‍රසන්න (40248), ප්‍රසන්න (21284), කොස්තාපවල්වරුන් වන ලලන්ත (72338), කුමාර (84762), අමිල (77687), සමීර (81600) හා අනිල් (61597) යන නිලධාරීහු නුගේගොඩ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ මෙහෙයවීම මත හංවැල්ල පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් වෝල්ටර් ඇතුළු කණ්ඩායමක්ද මේ පිළිබඳ විමර්ශනවලට එක්වූහ.
(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය)
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...