බස්නාහිර පළාතේ මුහුණු ආවරණ පැළද නොසිටි 377 දෙනෙකු අතරින් 220දෙදෙනෙකුට ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඉන් 3 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනු බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම 157 දෙනාට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර, ගලහ පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඒ, කොරෝනා ආසාදනය වී ඇති කාන්තාවක් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ගලහ පොලීසියට පැමිණීම හේතුවෙන්.
ගලහ - දෙල්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
මාරවිල - ගංසිගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් නිවසේදී හදිසියේ මිය ගොස් ඇති අතර පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.
එබැවින් ඇයගේ දේහය ආදාහනය කරන ලෙසට සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙනවා.
අදාළ නිවැසියන් නිරෝධායනයට ලක් කිරීමට ද කටයුතු කර ඇති බවයි මාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
කොරෝනා ආසාදනය වූ තවත් මරණ 3ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 222 දක්වා ඉහළ ගියා
මීතිරිගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 6 වනදා මිය ගොස් තිබෙනවා.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ අපස්මාර තත්ත්වයයි.
බේරුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු ඉරණවිල මූලික රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහලට මාරු කර එවීමෙන් පසුව ඊයේ මිය ගොස් තිබෙනවා.
මරණයට හේතුව ලෙස කොවිඩ් නිව්මෝනියාව, ද්විත්ව ලේ විෂවීම සහ වකුගඩු ආසාදනය දැක්වෙනවා.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 89 වයසැති පුද්ගලයෙකු ද කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගිය 06 වනදා මියගිය අතර ඊට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.
එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයින් 532 නෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 46,780 දක්වා ඉහළ ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අවසන් වරට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 432 නෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර 93 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් බවයි.
එමෙන්ම ඉතාලියේ සිට පැමිණි 3 දෙනෙකු, සුඩානයේ සිට පැමිණි 3 දෙනෙකු, ජෝර්දානයේ සිට පැමිණි එක් අයෙකුට ද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් තවමත් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව මේ වන විට 18,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.