පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. ඒ නිසාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තරඟ බොහොමයක් දිගින් දිගටම පරාජය වෙද්දී ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් කලකිරීමටත් පත් වෙන්න ඇති. එදා සහ අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන්න ජනප්‍රිය හා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වාව අපේ කතාබහකට එකතු කරගත්තා. 2011 නොවැම්බර් මස 25 වැනිදා පකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කළ පන්දුවාර 20 යි 20න් පසුව ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් නොදැක්ක චාමර ගැන තොරතුරුයි මේ.
බොහෝ කලක සිට චාමර සිල්වා ගැන කතා කරනවා අඩුයි, මේ වෙද්දී චාමර සම්පුර්ණයෙන්ම ක්‍රිකට්වලින් ඉවත් වෙලාද ඉන්නේ..?
මම අවසාන වතාවට ජාතික කණ්ඩායම එක්ක ක්‍රීඩා කළේ 2011 වර්ෂයේ. ඉන් පසුව මට ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. නමුත් මම තවම ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කරනවා. මම ක්‍රීඩා කරන්නේ Bloomfield ක්‍රීඩා සමාජයට. කොරෝනා නිසා පසුගිය මාස දෙක තුන කිසිම තරඟයක් සඳහා සම්බන්ධ වුණේ නැහැ. ඒ වගේම පුහුණුවීම් පවා නතර වුණා. ප්‍රැක්ටිස් නැති නිසා නිදහසේ ජිවත් වෙනවා. යළිත් ප්‍රැක්ටිස් පටන් ගන්නකල්.
වර්ෂ ගණනාවක් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළත් නිත්‍ය සාමාජිකයෙක් වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ නේද..?
ඇත්තටම කිව්වොත් මම හරි වාසනාවන්තයි. මොකද ජාතික කණ්ඩායමට එකතු වූ දවසේ ඉදලා ජාතික කණ්ඩායමට අවසානයේ ක්‍රීඩා කළ 2011 වර්ෂය දක්වාම මට ජාතික කණඩායමේ තරඟ සඳහා අවස්ථාව ලැබීම ගැන. ජාතික කණ්ඩායමත් එක්ක එකතු වෙලා මම පන්දු වාර 20යි 20 තරඟ 12ක්, එක්දින තරඟ 75ක් හා ටෙස්ට් තරඟ 11ක් ක්‍රීඩා කරලා තියෙනවා.
තව කාලයක් ක්‍රීඩා කරන අවස්ථාව ලැබුණා නම් කියලා හිතෙන්නේ නැද්ද..?
ජාතික කණ්ඩායම එක්ක එකතු වෙලා ක්‍රීඩා කරන්න මට හොඳ අවස්ථා ලැබිලා තියෙනවා. මම ඒ හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනය ගත්තා කියලත් හිතනවා. ක්‍රිකට් වලදී වුණත් ක්‍රීඩකයෙකුගේ දක්ෂතා දක්වන්න දක්ෂතා උපරිම මට්ටමෙන් පෙන්නන්න අවස්ථාව ලැබෙන්නේ වයසත් එක්ක. මම හිතනවා මගේ හොඳම අවස්ථාවේ මට ජාතික කණ්ඩායමට එක් වෙලා ක්‍රීඩා කරන්න ලැබුණා කියලා. ඒ නිසා මට දුකක් නැහැ.
අලුත් ක්‍රීඩකයින්ගේ පැමිණීම ජාතික කණඩායමේ නම් ලැයිස්තුවෙන් ඔබේ නම හැලෙන්න හේතුවක් වුණාද..?
ඒක මට විතරක් නෙමෙයි හැම ක්‍රීඩකයෙකුටම පොදු දෙයක්. මගේ හොඳම කාලය පහු වෙනකොට තවත් දක්ෂයින්ට ක්‍රිකට් ආයතනයෙන්, තේරීම් කමිටුවෙන් අවස්ථාව ලබා දුන්නා. ඒක කොහොමත් වෙන්න ඕන දෙයක්. අලුත් ක්‍රීඩකයින් හැදෙන්න ඕන. ඒක වරදක් විදිහට මම දකින්නේ නැහැ. මොකද අපිට හැමදාම සෙල්ලම් කරන්න බැහැනේ. මහේල, සංගා, ඩිල්ෂාන් වුණත් ක්‍රිකට්වලින් ඉවත් වුණේ අලුත් අයට තැනක් දෙන්න ඕන නිසා තමයි.
පසුගිය වසර දෙක තුන කාලය පුරා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අසාර්ථක මට්ටමේ තිබුණේ, තරඟ බොහොමයක් එක දිගට පරාජය වෙන්න පටන් ගත්තා...?
ලොකු පසුබෑමක් මමත් දකිනවා. ඒක ඇත්තටම කණගාටුවට කරුණක්. එතැනදී තනිකරම වගකීම ගන්න ඕන ක්‍රීඩකයින්. තමන්ට අවස්ථාවක් ලැබුනම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න අවශ්‍ය ශක්තිය, අවබෝධය, ඔවුන් තුල ඇති කරගන්න ඕන. පිටියට යන්නේ ක්‍රීඩකයින්. ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයින්. ඒ නිසා වගකීම තියෙන්නේ ඔවුන්ට.
මේ තරම් තරඟ පරාජය වෙන්න ඔබ දකින හේතුව මොකක්ද..?
ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරඟද, විස්සයි විස්සද එහෙමත් නැත්තම් එක්දින තරඟද කියලා ක්‍රීඩකයාට අදාළ නැහැ. ක්‍රීඩකයාට අදාළ වෙන්නේ ලැබුණු අවස්ථාවට මුහුණ දීම හා ඊට අවශ්‍ය පසුබිම තරඟයට පෙර සුදානම් කරගැනීමයි. ලැබුණු වගකීම කොයි වගේද ඉටු කරන්නේ කියලා හිතන්න ඕන. අපේ කාලේ හැම ක්‍රීඩකයෙක්ම හරිම ශක්තිමත්. ඕනවට එපාවට පුහුණුවීම් කරන්නේ නැහැ. අදාළ පුහුණුවීම් අවසන් වුණත් තනි තනිව හෝ යලි යලිත් පුහුණුවීම් කරනවා. කැපවීම තිබ්බා, මහන්සි වෙලා කය ශක්තිය වර්ධනය කරගත්තා. ක්‍රීඩකයෙක් වුනහම අබාධ වලට ලක් වෙනවා. නමුත් එක දිගට ක්‍රීඩකයින් ආබාධවලට ලක් වෙනවා කියන්නේ ප්‍රශ්නයක්. දැන් ඉන්න ක්‍රීඩකයින් පුහුණුවීම් කරන්නේ නැහැ කියන්න බැහැ. නමුත් අඩුපාඩුකම් තේරුම් ගන්න ඕන. ඒවා හදා ගන්න ඕන. ඉස්සර ක්‍රීඩකයින් වගේ කැපකිරීම් කරන්නේ නැහැ කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ.
ඒ වගේම මම ක්‍රීඩා කරන කාලේ අර්ජුන අයියා, මහේල, සංගක්කාර , ඩිල්ෂාන් ඇතුළු හැම ක්‍රීඩකයෙක්ම දක්ෂයින්. පළපුරුද්ද අතින් ඉහල මට්ටමක හිටියේ. ඒ වගේ කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්න ලැබීමම වාසනාවක් කියලයි මම හිතන්නේ. ඒ වගේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් අඩු නිසා අලුත් පරම්පරාවට ඉගෙන ගන්න දෙයක් නැහැ. අලුත් පරම්පරාව යන විදිහට තමයි ඊළගට එන පරම්පරාවත් හැදෙන්නේ. අත්දැකීම් මදිකමත් දැන් ඉන්න ක්‍රීඩකයින් දිගින් දිගටම ෆේල් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් වගකීම ක්‍රීඩකයින් ගත්තා නම් අපිට දුර ගමනක් යන්න පුළුවන්.
එකල මහේල ලකුණු 98ක් ලබා සිටියදී අනවශ්‍ය ප්‍රහාරයකට ගොස් දැවී ගියා කියලා නායක අර්ජුන රණතුංග ඔහුව පැයක් පමණ එළියේ තබා දඩුවම් ලබා දී තිබෙනවා...?
මහේල වගේම ඒ කාලේ හිටපු ක්‍රීඩකයින් හැමෝම දඬුවම් වින්දා වැරදි කළොත්. පිටිය මැද කරන වැරදි වලට අනිවාර්යෙන්ම දඬුවම් වින්දා. අපිට හරියට දඬුවම් කළා. ඒ බය නිසාම හැම ක්‍රීඩකයෙක්ම අඩුවෙන් තමයි වැරදි කළේ. කරපු වැරැද්ද පෙන්නලා දුන්නම ඒ වැරදි හදාගත්තා. දැන් ඉන්න ක්‍රීඩකයින්ට දඬුවම් ලබා දෙන්න බැහැ. එතකොට වැරදි මත පලවෙනවා. දැන් ක්‍රිකට්වලට ළමයි යොමු වෙන්නේ දෙමාපියන්ගේ කැමැත්තට මිසක් දරුවන්ගේ කැමැත්තට නෙමෙයි. ගුරුවරයාට දඩුවම් කරන්න දෙමාපියන් ඉඩ දෙන්නෙත් නැහැ. ඒ වගේ පරිසර වපසරියක් දැන් හැදිලා තියෙන්නේ.
ඔබේ පරපුරේ බොහෝ ක්‍රීඩකයින් දැන් විදෙස් රටවල ක්‍රීඩා කරනවා, ඔබටත් අවස්ථා ලැබෙන්න ඇති..?
ගොඩක් ක්‍රීඩකයින් පිටරට ක්ලබ් සෙල්ලම් කරනවා. එංගලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන් මටත් ඒ කාලේ අවස්ථාව ලැබුනා. කොහෝ ගියත් කරන්නේ ක්‍රීඩා කරන නිසා මම ලංකාවේම ඉන්න තීරණය කළා. ඒ ගත්ත තීරණයෙන් මට වරදක් වෙලා නැහැ.
ක්‍රිකට්වලට හා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබේ පවුලෙන් ලැබුණු සහය කොයි වගේද කියලත් මතක් කරමු..?
මගේ බිරිඳ ශෂිකා, මට දුවෙක් වගේම පුතෙක් ඉන්නවා. දුවගේ වයස අවුරුදු 6යි. පුතාගේ වයස අවුරුදු 14යි. මගේ බිරිඳ ඒ කාලේ ඉදලම අදවනතුරු මට කිසිම බලපෑමක් නැතිව ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන්න නිදහස දුන්නා. නිදහසේ වැඩකරගෙන යන්න උදව් කරනවා. ඒ අවබෝධය වටිනවා පවුල් ජිවිතේ සාර්ථකව ගෙනියන්න. ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මගේ දෙමපියන්ගෙනුත් මට උදව් උපකාර ලැබුනා. නිදහස ලැබුනා.
චාමර වගේම ඔබේ පුතත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙයිද..?
දැනට ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දක්වනවා. පාසලේ ක්‍රීඩා කරනවා. නමුත් ඉදිරියේදී ඔහුගේ කැමැත්ත කොහොම වෙයිද දන්නේ නැහැ. එයාම එයාගේ අනාගතය තීරණය කරයි. එයාගේ කැමැත්තට අපි උදව් කරනවා.
ඉස්සර වගේම ක්‍රීඩා ලෝලීන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවද..?
සමහර තැන්වලදී හදුනාගෙන කතාබහ කරන පිරිස ඉන්නවා. ඒ මුණගැහෙන කතාබහ කරන අය කතා කරන්නෙම එදා ක්‍රිකට් ගැන. දැන් අය ඔයාලා වගේ ක්‍රීඩා කරන්නේ නැහැනේ කියනවා. එතකොට ලොකු කණගාටුවක් ඇති වෙනවා. අපේ ක්‍රීඩකයින් මානසික මට්ටම හදාගෙන ක්‍රීඩා කළොත් අනාගතේ ක්‍රිකට් අනිවාර්යෙන්ම වෙනස් කරන්න පුළුවන්. දක්ෂයින් ඉන්නවා.
හර්ෂණී වීරරත්න