කොරෝනාවට බයෙන් “කොරොන්ටයින්” වෙලා ඉන්න මගේ හිතමිතුරිය “මීටරයක්” දුර තියාගෙන, ඒ “අරුම පුදුම ලොමු දැහැගැන්වෙන කතාව” මුල ඉඳන් කියවන්න පටන් ගත්තා.
අනුරාධපුර දිස්ත්රික්කයේ ඈතකට වෙන්න තිබුණු ගම්මානයක්... (ඒ තමයි කතාව පටන් ගන්න තැන.) හරි හැටි විලි වසා නොගත්තූ පොඩි උන් රංචු ගැහුනු දවස් වල... “පුංචි හාමිනේ” උන්නෙත් ඒ ගැන්සියේ. (පුංචි හාමිනේ තමා අපේ කතා නායිකාව.)
“පුංචි හාමිනේ”ගේ ඇත්ත නම, “ගිම්හානි.” ඈ හරිම සුන්දර එකියක්. හරියට හඳ පළුවක් තරම්ම ලස්සන පුංචි කෙල්ලක්. ඒකිගේ අම්මා ඒකිව ඉඹගන්න හැම මොහොතකම, ඒ “හඳපළුව” වර්ණනා කරන්න ගන්නවා.
ටිකෙන් ටික ඒකි ලොකු වෙද්දි, ඒකිගේ කොළ පාට ඇස් තඩිසි වෙද්දි, පියයුරු ඕනෑවට වඩා පිම්බෙද්දි, පාට වැටිච්ච ගවුම් කෑලිවලට දිලිහෙද්දි, ගමේ එක එකාලා ඒකිව ලුහුබඳින්න ගත්තා. (ඒක තාක්ෂණය නොදියුණු යුගයක්.)
එහෙව් දවසක ඕලෙවත්වත් නොලියපු මේ “හදපළුව” කාටවත් නොකියාම නික්ම ගිහින් තිබුණා. (ඒක මම කිව්වා වේලාසන වැඩිනම් සමාවෙන්න.)
පුංචි “ගිම්හානි” ගේ ප්රාණ නිරුද්ධ දේහය වැව් ඉස්මත්තට ගොඩ වැදිලා තිබුණා. ආකාසේ අලවගත්තූ ඒකිගේ ඇස් පියවෙලා තිබුණා.
“දෙයියනේ මගේ රත්තරන් දුවේ....!! උඹ මොකද්ද මේ කරගත්තූ විනාසේ...?” ගිම්හානිගේ අම්මාගේ විළාප හඬ මුළු ගමක්ම කම්පාවට පත් කෙරුවා. ගිම්හානිගේ මරණය සිද්ධ වුනේ “දියේ ගිලීමෙන්” කියන එක අවසන් තීන්දුව සහ තීරණය බවට පත්වුණා.
ඒත් හිටිහැටියේම.... ආකාසේ ආයෙම ඒකි දිහා බැලුවා. අකුණු සැර වෙනදට වඩා වැඩි හඬකින් ඝර්ජනා කරන්න පටන් ගත්තා. වවුලන්ගේ අහන් බැරි කන්දොස්කිරියාව වේගවත් වෙන්න ගත්තා. කණාමැදිරියොත් ඒකිගේ මරණයට සාධාරණය ඉල්ලලා “විදුලි එළි” දල්වන්න පටන් ගත්තා.
“ඒකිව මැරුවා මහත්තයෝ.. ඒකිව මැරුවා... ඔය මරණය අපිට සැකයි... ආයේ පරීක්ෂණ කරන්න....!” පුංචි එකිගේ නෑ පිරිවර ඒ අහිංසක “සඳපළුව”ට සාධාරණයක් කරන්න ඉදිරිපත් වුණා.
ඔව්.....! (දෙයි හාමුදුරුවනේ..!) අන්තිමට... ඒකිගේ බෙල්ලේ තිබ්බ තද නිය පහරවල්... ඒකිව හූරපූ පාරවල්.. ඒකිගේ රහස් තැන් පිරිමැදපු පාරවල්... බොහෝමයක් හොයා ගන්න පරීක්ෂකයින්ට පුළුවන්කම ලැබුණා.
“ඒ දරුවාගේ අම්මයි තාත්තයි දෙන්නම කිව්වේ මේක සියදිවි නසා ගැනීමක් කියලයි. ඔය දරුවා අවුලෙන් හිටියා කියලත් ඒ දෙන්නා කිව්වා. අනිත් කාරණාව එක්කෝ ඒ දරුවා වැවට වැටිලා තියෙනවා වැරදීමකින් හරි... ඒත් ඉතින්.... ඒක කොහොමත් වෙන්න විදිහක් නෑ..... පස්සෙ තමයි අපිට හොයාගන්න ලැබුණේ මේ දරුවාව දරුණු විදියට දූෂණය කරලා කියලා... ඒකේ සැකය යොමු වුනේ දරුවාගේ තාත්තා දිහාවට...”
ගිම්හානිගේ නිසල දේහය මුකුත්ම නොකියා පස්වලට යට වුණා. ඒකිගේ “හදපළුව” වර්ණනා කරපු වළාකුළු නිහඬ වුණා. ඒකිව ඇහේ තියන් වදපු අම්මාත්, ඒකිගේ උවමනා එපාකම් බලපු තාත්තාත් කරපු අතිවිශිෂ්ඨ “රඟදැක්වීම” අවසානයේ පුළුල් තිර හැරුණා.
දැන් මේ ඉන්නේ ගිම්හානිගේ තාත්තා.......
ඔහුගේ මුහුණ බෑවුම් වෙලා. කොන්ක්රීට් තට්ටුවකට බරදුන්නු ඔහුගේ සවිමත් අත් යුගලය යකඩ දම්වැලකට හිරවෙද්දිත් ඔහු හැඟීම් විරහිත “රොබෝවරයෙක්” වගේ වැව් ඉස්මත්ත දිහාම බලාන හිටියා.
අවසානයේ...... පොලිසියේ ලොකු මහත්වරු ඉස්සරහා ඔහු ඒ සියල්ල පාපොච්ඡාරණය කළා.
“මම දන්නවා මම කළේ සමාව දෙන්න බැරි විදිහේ වරදක්.. ඔව් මම මගේ දුව මැරුවා. ඒක ඇත්ත මහත්තයෝ... ඒත් ඉතින් මම වෙන මොනා කියලා කරන්නද..? මට තිබුණු තිරිසන් ආශාවට මම ඒකිව බිල්ලට ගත්තා. ඒකිගේ හැමදේම.....!” ඒ “රොබෝවරයා” අඬන්නේ නැතුව ඉන්න තීරණය කරනවා. ඒත් උගේ ඇතුළේ ඉන්න “තාත්තා” කියන කෙනාගේ ඇස් දෙකට කඳුළු කුරුල්ලෝ වහන්න ගන්නවා.
“මම ඒකිව බය කළා, මේ ගැන කාටවත් කිව්වොත් ඒකිව මරණවා කියලා. ඒකි ඇත්තටම බය වුණා මහත්තයෝ.... ඒකිව මම විනාශ කළා ඇත්ත... ඒත්... මම ඒකිව හිතාමතා මැරුවා නෙවෙයි... සත්තයි....! ඒකි අම්මාට මේ ගැන කියනවා තවත් කරදර කරන්න එපා කියලා වැඳ වැටෙනකොට, මම ඒකිව බය කෙරුවා. ඔව් මම බෙල්ල මිරිකුවා මගේ කෙල්ලගේ. ඒකි කෙහෙල් කඳක් වගේ හරහට කඩන් වැටුණා. මගේ ගෑනිවත් මම බය කළා, මේ ගැන කිසිම දෙයක් කියන්න එපා කියලා. අන්න එහෙමයි වුනේ මහත්තයෝ... අපි ඒකිගේ මිනිය ගිහින් වැවට අතෑරියා. පස්සෙ මුකුත් නොවුනු ගාණට නින්දට ගියා....”
“මම නරක තාත්තා කෙනෙක්. ඒක මම නොදන්නවා නෙවෙයි. මම වරද්ද ගත්තා. මගේ පුංචි කෙල්ලව මට නැතිවුණා. ඒකට දෙවියන් වහන්සේ සමාව දෙන එකක් නැහැ....”
එකෝමත් එක තාත්තා කෙනෙක්....! දෙයියනේ!! ඒ කතාව කොයි තරම් බිහිසුණු ඝනයේ එකක්ද? මම තාමත් ආපස්සට දුවමින් ඉන්නවා, මේ වේගයෙන්ම. කාත් කවුරුත් නැති මහ පොළව මැද ඒ “හදපළුව” නිදන තැනට මේ දැනුත් වැහි වැටෙනවා ඇති...!
ගිම්හානි....! හොඳටෝම නිදි ඇති...........!!
(මෙම සිදුවීමට වරදකරුවන් වූවන්ට වසර ගණනක් මහඋළුගෙදර තපින්නට සිදු වුනු අතර ගිම්හානිගේ පියා සිරමැදිරිය තුළදීම කිහිප වරක් සියදිවි හානිකරගැනීමට උත්සහ කර තිබේ. කතාවේ නම් ගම් සියල්ල ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.)