ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට මහගු සේවයක් කළ, තවමත් ස්වප්ත ස්වරයන් එකිනෙකට ගලපා නැවුම් වූ සංගීත නිර්මාණයන් කරන ඔහු නමින් රෝහණ වීරසිංහයි. සංගීත ක්ෂේත්රයට දැවැන්ත මෙහෙවරක් කරන ඔහු ආදරණිය පියෙකු වෙනවා. නිහඬව ජීවිකාව ගෙන යන ඔහුගේ ආදරණිය පොඩි පුතු තමයි චිරත් වීරසිංහ කියන්නේ. පියාගේ අඩිපාරේ නොගියත් සංගීතයට ආදරය කරන චිරත් එක්ක ඔහු ගැන වගේම ආදරණිය පියාණන් ගැනත් කතා කරන්න හිතුවා. මේ ඔහු ගැන තොරතුරුයි.
රෝහණ වීරසිංහ කියූ ගමන් ඒ කවුද මොනවාද කරන්නේ කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් චිරත් ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා අපි මුලින්ම චිරත් ගැන කතා කරලා මේ කතාබහ ආරම්භ කරමු..?
මම එක වසරේ ඉදලා තුන් වැනි ශ්‍රේණියට ඉගෙන ගත්තේ මරදාන අශෝක විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වෙලා සාමාන්‍ය පෙළ වෙනකල් ඉගෙන ගත්තා. මම උසස්පෙළ කලේ නැහැ. ලංකාවෙම වැඩිදුර අධ්‍යාපනය හදාරලා ඒ ක්‍රමය හරි ගියේ නැති නිසා මම 2010 වර්ෂයේ ඉගෙන ගන්න විදෙස් ගත වුනා. ඉගෙන ගත්තේ හෝටල් ක්ෂේත්රය ගැන. 2012 ලංකාවට ඇවිත් ලංකාවේ සුපිරි හෝටලයක සේවය කළා. නැවත ඕස්ට්‍රේලියාවේ ජොබ් ඔෆර් එකක් ඇවිත් මම රට ගිහින් අවුරුදු දෙකහමාරක් ඉදලා ඇවිත් දැන් ලංකාවේ සේවය කරනවා. මේ තමයි මගේ විස්තර.
ලංකාවේ ඉන්න ජනප්‍රිය ප්‍රවීණ කලාකරුවෙකුගේ පුතෙක් උසස් පෙළ කළේ නැහැ කිව්වොත් බොහෝ දෙනෙක් වෙනසක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේ තීරණයකට ඔබේ පියාගෙන් බලපෑමක් ආවේ නැද්ද..?
මම තීරණය කළා උසස් පෙළ කරන්නේ නැහැ. නමුත් උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙනවා කියලා. පසුව ඒ තීරණය මම මගේ අම්මටයි තාත්තටයි කිව්වා. අපි තුන් දෙනාම ඒ ගැන කතාබහ කළා. පසුව මගේ අම්මයි තාත්තයි දෙන්නම තීරණය කළා මගේ කැමැත්තට ඉඩ දෙන්න. තාත්තා ජනප්‍රිය පුද්ගලයෙක් කියලා ඒක මගේ ජිවිතයට බලපෑවේ නැහැ.
සංගීතය කියන කලාව ඔබේ පවුලේ තිබුණත් ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ මෑතකදී. ගීත ගායනයට හෝ සංගීත නිර්මාණකරණයට යොමු වෙන්න ප්‍රමාද වෙන්නේ ඇයි..?
තාත්තා නිතරම කිව්වා දෙයක් තමයි සංගීතය කියන එක දෙවනුවට කරන්න. වෘත්තීය විදිහට වෙනත් දෙයක් කරන්න කියලා. ඒ නිසා තමයි මම හෝටල් ක්ෂේත්රය තෝරා ගත්තේ. ගායනයට හෝ සංගීතයට සම්බන්ධ වෙන්න එපා කියලා වාරණ දැම්මේ නැහැ. මම වගේම සංගීත වැඩ කටයුතු කරන්න ඕන කියලා බලපෑම් කලෙත් නැහැ.
මම මුලින්ම ගීතයක් කලේ මට වයස අවුරුදු 17දී. රවී සිරිවර්ධන තමයි එය පදරචනය කරලා දුන්නේ. ඒක ආසාවට කරපු ගීතයක්. මේ වෙද්දී මම ගීත 14ක් විතර කරලා යු ටියුබ් දාලා තියෙනවා. මේ අවුරුද්දේ ගීත තුනක් කළා. ඒ වගේම තාත්තා 2009 වර්ෂයේ පිය පුතු ගී මුතු කියලා ගීත ඇල්බමයක් කළා. ඒකට මමත් ගීත ගැයුවා. මගේ හොඳම යාළුවා අනුරුද්ධ පෙරේරා. අපේ යාළුකමට මේ වෙද්දී අවුරුදු 22ක් වෙනවා. එයා තමයි ඒ ඇල්බමයට මට ගීතයක් ලියලා දුන්නේ. හිතට හොරෙන් කියලා. ඉදහිටලා ගීත නිර්මාණය කළත් ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණු නිසා ජනතාව අතරට ගියේ අඩුවෙන් කියලා මම හිතනවා. ඉදිරියේදී තවත් හොඳ නිර්මාණ කරන්න අදහසින් තමයි ඉන්නේ.
චිරත් වීරසිංහ කියන්නේ ප්‍රවීණ සංගීතඥ රෝහණ විරසිංහයන්ගේ පුත්‍රරත්නය ඔබ බව බොහෝ දෙනෙක් දන්නවද, පියාගේ ජනප්‍රියත්වයෙන් ඔබ ලාභ ප්‍රයෝජන අරගෙන තිබෙනවද..?
කවදාවත් මොන වැඩේ කරගන්න ගියත් මම අහවලාගේ පුතා මට මේ වැඩේ කරලා දෙන්න, මට මේ දේ ඕන කියලා මම උදව් අරගෙන නැහැ. මම වගේම තමයි අයියත්. අයියා විදෙස්ගත වෙලා ඉන්නේ. අපි දෙන්නා පුංචි කාලේ ඉදලම තාත්තාගේ නම විකුණලා කිසිදෙයක් කරගෙන නැහැ. එහෙම කළා නම් සමහර විට අපිත් අද ප්‍රසිද්ධ ගායකයෝ වෙන්න තිබ්බා. ඉස්කෝලේ යන කාලෙත් ගුරුවරු මේ අහවලාගේ පුතා කියලා දැනගෙන පාසලේ ළමුන් හා ගුරුවරුන් මාව දැනගෙන හිටියා මිසක් මම ඒ ගැන කියලා නැහැ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ මම රෝහණ වීරසිංහගේ පුතා කියලා.
ඔබේ පියාගේ හොඳම රසිකයින් ඔබ හා ඔබේ සහෝදරයා කියන්නේ ඇත්තද..?
ඔව්. තාත්තා ඕනෑම වැඩසටහනකට ගියත් ඒ ගැන කියලා තියෙනවා. මමයි අයියයි තමයි එයාගේ ජිවිතේ හොඳම රසිකයින් කියලා. තාත්තා මොන නිර්මාණය කරන්න ගියත් මුලින්ම රසවිදින්නේ එහි අඩුපාඩු කියන්නේ අපි දෙන්නා තමයි. ගෙදර ඉන්නේ මමයි අම්මයි තාත්තයි නිසා අපි තුන්දෙනා නිතරම එකට ඉන්නේ. තාත්තා කවදාවත් අපෙන් උදව් ඉල්ලන කෙනෙක් නෙමෙයි. ඒ නිසා තාත්තාට උදව්වක් ඕන කියලා හිතෙන හැම මොහොතකම මම උදව් කරනවා. තාත්තා ලඟින්ම ඉන්නවා. මොකද අයියා ලංකාවේ නැති නිසා.
ඔබේ පියා හරිම නිහඬ නිහතමානි කලාකරුවෙක්, පියෙක් හැටියටත් සැබෑ ජීවිතයේදී ඔහු එහෙමද..?
කිසිම වෙනසක් නැහැ. ඒ වගේම තමයි. තාත්තා හරිම නිහඬ කෙනෙක්. හරිම ආදරණිය චරිතයක්.
ජනප්‍රිය හා ප්‍රවීණ කලාකරුවෙක් වූ රෝහණ විරසිංහයන්ගේ පුතා වීම ගැන ඔබට ආඩම්බරයක් ඇති..?
ආඩම්බරයකට වඩා වාසනාවක් කියලයි හිතන්නේ. ඔහුගේ දක්ෂතා ඔහුට ලැබෙන ගෞරවය මේ හැම දෙයක් එක්කම ඔහුගේ පුතා වීම මම ලද භාගයක් කියලයි මම හිතන්නේ.
ජනප්‍රිය චරිත වැරදි කරද්දී එය සමාජගත වෙන ප්‍රවණතාවය වැඩියි, මඩ ප්‍රචාරය වෙනවා වැඩියි. මේ වගේ තත්වයක් එක්ක පියාගේ ජනප්‍රියත්වය ඔබේ සාමාන්‍ය ජිවිතයට බලපෑමක් වෙලා නැද්ද..?
අපි පුංචි කාලේ ඉදලා හැදුනු වැඩුණු පරිසරය වෙනස්. නිහඬව තමන්ගේ පාඩුවේ ජිවත් වුණේ. තැනට සුදුසු විදිහට හැසිරෙන්න නිතරම වගබලා ගත්තා. ඒකට එක හේතුවක් වෙන්න ඇති තාත්තාගේ ජනප්‍රිය පසුබිම. ඒ විදිහට හැඩගැහෙන්න පසුබිම් වුණේ ගෙදර පරිසරය වෙන්නත් ඇති. බලපෑමක් වෙලා නැහැ. අපි සාමාන්‍ය විදිහට ජිවත් වෙන නිසා. මොන දේ වුනත්පරිස්සමින් ජිවත් වෙන්න වගබලා ගන්නවා .
පියාගේ ඔබ කැමතිම නිර්මාණය ගැන කිව්වොත්..?
සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන තාත්තා සංගීත නිර්මාණය කළ සදාකාලික නොවූ ලෝකෙක කියන ගීතයට මම එදත් ආදරෙයි අදත් ආදරෙයි. හැමදාම කැමති ගීතය ඒක තමයි.
විවාහ වෙන කලවයස හරි කියලා අම්මා තාත්තා කියන්නේ නැද්ද..?
අපේ දෙමාපියන් කිසිම දෙයකට බලපෑමක් කලේ නැහැ. විවාහයේදීත් එහෙමමයි. මම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දැන් පෙම්වතෙක්. එයා වෛද්‍යවරියක් විදිහට පුහුණුව ලබනවා. එයාගේ ගම පොලොන්නරුව. අපි දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු තුනහමාරක් වෙනවා. අපි දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන අවුරුද්දක් යද්දී මම මගේ දෙමාපියන් දැනුවත් කළා. ගොඩක් වෙලාවට තාත්තාට කෙලින්ම කියන්න බැරි දේවල් මම අම්මා හරහා තමයි කියවන්නේ. මේ සම්බන්ධය ගැනත් තාත්තාට කිව්වේ එහෙම තමයි. මම මුලින්ම අම්මට කිව්වා. අම්මා තාත්තාට කිව්වා. මගේ පෙම්වතිය තමයි එයාගේ දෙමාපියන් දැනුවත් කළේ. ඇත්තම කිව්වොත් එයාලගේ පවුලෙන් මේ සම්බන්ධයට එතරම් කැමැත්තක් තිබුනේ නැහැ. පස්සේ දෙපාර්ශවයම අපිට ආශීර්වාද කළා. මගේ පෙම්වතිය පුදුම වෙලා, එයා ආදරේ කරන්නේ රෝහණ වීරසිංහගේ පුතාට කියලා දැනගත්තම. එයා හරියට සතුටු වුනා කිව්වා. ඒ වගේම එයා මගේ දෙමාපියන් එක්ක හරි එකතුයි.