ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ආරක්ෂක අංශ මගින් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බෝම්බය හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකුගේ මවකට ලබාදීම සඳහා රැගෙන ගිය බව සැකකරුවන් ප්‍රකාශ කළ බවයි.
මෙම ක්ලේමෝ බෝම්බය රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සහ කිලිනොච්චිය පොලිසිය සිදුකළ මෙහෙයුමකින්.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඉයක්කච්චි ප්‍රදේශයේ රැඳී සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකුගේ මව යැයි කියන කාන්තාවකගේ නිවසට එම බෝම්බය රැගෙන යමින් සිට ඇති බවයි.
එම කාන්තාව හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන ගෝපි නැමැත්තාගේ මව බවට සැකපල වනවා.
අදාළ කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ගෙවත්තේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තවත් උපකරණ සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා.
එලෙස සොයාගෙන ඇත්තේ ප්ලාස්ටික් බැරලයක ආරක්ෂිතව වළ දමා තිබූ අත්බෝම්බ දෙකක්, පිස්තෝල උණ්ඩ 50ක්, ටී. 56 උණ්ඩ 20ක්, ස්නයිපර් ගිනි අවියකට භාවිත කෙරෙන බවට සැක කෙරෙන දුරේක්ෂයක් ඇතුළු උපකරණ කිහිපයක්.
ඒ අනුව අදාළ කාන්තාව සමඟ එම නිවසේ සිටි තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා.
පොලිසිය පැවසුවේ බස් රථයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සහ නිවසේදී අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තිදෙනා සමඟ සොයාගත් උපකරණ තොගය කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ වුණා.