LPL තරඟාවලියේ ඊයේ පැවති 10 වන තරඟයෙන් කැන්ඩි ටස්කර් කඩුලු 5කින් පරාජය කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ජය හිමිකරගත්තා.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස්කළා.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 45කදී ලකුණු 55ක් රැස්කළා.
කැන්ඩි ඉනිම ශක්තිමත් කළ නායක කුසල් ජනිත් ලකුණු 41ක් රැස්කළේ හතරේ පහර 5ක් සමගින්.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ මලින්ද පුෂ්පකුමාර පන්දුවාර 4ක් යොමුකර ලකුණු 28ක් පමණක් ලබාදී කඩුලු 2ක් තමන් සතුකරගත්තා.
කසුන් රාජිත ලකුණු 16කට කඩුලු 2ක් දවාගත් අතර රමේෂ් මෙන්ඩිස් සහ සමිට් පටෙල් කඩුලු 1 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරතවූ ඇන්ජලෝ පෙරේරා ලකුණු 67ක් රැස්කළා.
ඒ හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමඟින්.
නායක දසුන් ශානක ලකුණු 33ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින්.
ඒ අනුව පන්දුවාර 19යි පන්දු එකකදී දඹුල්ල කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී සිය ජයග්රාහී ඉලක්කය පසුකර ගියා.
තරඟයේ වීරයා දඹුල්ල කණ්ඩායමේ ඇන්ජලෝ පෙරේරා.