මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට තමා පත් කළ විමර්ශන කමිටුවේ සාමාජිකයින් අද දිනයේ එම බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු ලබාදෙමින්.
මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද අදහස් පළ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
මේ අතර එම සිද්ධියේදී තුවාල ලබා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය රැඳවියෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ 9 ට පමණ රෝහලෙන් පලාගොස් තිබූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළේ.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇතිවූ අදාළ සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු මියගිය අතර, තවත් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා.