බොහෝ දෙනෙකුගේ දෙනෙතට ලක්වී තිබූ මේ අනතුර රැකියාව නිමා කරන නිවසට යමින් සිටි ලාංකික තරුණයෙකුට දකින්නට ලැබුණේ ඔය අතරයි.
ඉතාලියේ සුපිරි වෙළඳ සංකීර්ණය සේවය කරන ඔහු නමින් අසංක ඉරෝෂන් අත්තනායකයි.
සිය බිරිඳ හා දරුවන් දෙන්නා සමඟ ඉතාලියේ මිලානෝ හි වෙසෙන මොහුගේ මව්පියන් මෙන්ම සොයුරන් දෙදෙනා ජීවත් වුනෙත් ඉතාලියේමයි.
කෙනෙකුගේ දුකකදී කරදරයකදී ක්ෂණිකව හදවත උණුවීම ශ්‍රී ලාංකිකයින්ගේ සිරිතක්.
රාත්‍රී එකොළහට ආසන්න තිබූ මොහොතේ ඉතාලි ජාතිකයින් පනස් දෙනෙකු පමණ තම වාහන නවතාගෙන මේ සිද්ධිය නරඹමින් සිටියේ චිත්‍රපටි රූගත කිරීමක් නරඹන ආකාරයෙනුයි.
මෝටර් රියේ සිරව සිටි රියදුරු ගලවා ගැනීමට රැස්ව සිටි පිරිසගෙන් උදව් ඉල්ලා සිටියත් අසංකට සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
තවදුරටත් කාලය අපතේ හැරීමේ තේරුමක් නැහැ. තනිව හෝ රියදුරු බේරා ගැනීමේ අරමුණින් ඉරෝෂන් ඒ දෙසට දිව ගියා.
"යන්න එපා ඔයාටත් අනතුරක් වෙන්න පුළුවන්.."
පසුපසින් ඇසුණු අනතුරු ඇඟවීම් ඔහු තැකීමක් කළේ නැහැ.
ගිනිගන්නා රථය පණගැන්වීමේ අසීරු උත්සහයක සිටින රියදුරු අධික බීමතින් සිටින බව ඉරෝෂන්ට වැටහුණා. කාරයේ දොරගුළු හැර ගැනීමට ඉරෝෂන් අසීරු උත්සහයක යෙදුණ ද එයින් පලක් වූයේ නැහැ.
පිටුපස කොටසේ ඇති වූ ගින්න වේගයෙන් ඉදිරිපස දක්වා පැතිර එමින් පැවතුණා.
ඉන් නැගුණු අධික රස්නය මෙන්ම අවට පැතිරුණු දුමාරය නිසා ඔහුට හුස්ම ගැනීමට පවා නොහැකි වුනා.
නමුත් අමු අමුවේම මනුෂ්‍ය ජීවිතයක් දැවීයාමට ඉඩ දිය නොහැකියි.
රියදුරු අසුන පැත්තේ පිහිටි දොරගුළු වලට මෙන්ම කවුළුවටද නොනවත්වා පයින් ගසා ඒවා විවෘත කර ගැනීමට උත්සහ කළද එම උත්සහය අසාර්ථක වෙද්දි මානසික පීඩනයට පත් ඉරෝෂන්ට මාර්ගය අද්දර තිබූ ගල් කැබැල්ලක් දැක ගැනීමට හැකි වුණා.
තවත් ප්‍රමාද නොවුනු ඔහු වියරු වැටුණාක් මෙන් එයින් රථයේ වීදුරුවට ගැසුවා.
කැඩී ගිය වීදුරුවෙන් ඇතුළට අත දමා රියදුරුගේ ආසන පටි ගලවා දමන මොහොත වන විට ගින්න රථයේ ඉදිරිපස අසුනත් ආක්‍රමණය කර තිබුණා.
රියදුරාව වත්තන් කරගෙන ඉතා අපහසුවෙන් ඇවිදමින් තරමක් දුරින් ඔහු වාඩිකරගන්නාවත් සමඟ බෝම්බයක් පිපිරෙන්නා සේ මහ හඬක් නඟමින් රථය පුපුරා ගියේ ගිනිදැල් විසින් ඉන්ධන ටැංකිය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
තප්පරයක් හෝ ප්‍රමාද වූයේ නම් ඉරෝෂන්ගේ ජීවිතයට ද සිදුවන්නට තිබුණේ මහා අනතුරක්.
පොලිසියෙන් එම ස්ථානයට පැමිණියේ තවත් පැය භාගයකින් පසුවයි. ඉරෝෂන් විසින් මුදාගත් තරුණයා ගිලන් රියකින් රෝහල්ගත කරනු ලැබුවා.
තම දිවි ගැනද නොතකා ඉරෝෂන්ට ඉතාලි පොලිසියෙන්ම ගිනි නිවන හමුදාවෙන්ද ප්‍රශංසා හිමි වුණා.
ඉතාලියේ පුවත්පත් කිහිපයක මෙන්ම රූපවාහිනි නාලිකාවක ද මේ වික්‍රමය ගැන පුවත් විකාශය වුනා.
බීමත් රියදුරා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු තවමත් ඉරෝෂන්ව මුණ ගැසීවත් නැහැ.
ඉරෝෂන්ගේ උපන් ගම අම්පාර වන අතර සාමාන්‍ය පෙළ නිමවා ඔහු ඉතාලියට එද්දි ඔහුට අවුරුදු 17ක් ලැබුවා පමණයි.
එතැන් සට මේ වික්‍රමය සිදු කරන මොහොත වන තෙක්, එනම් තමන්ට අවුරුදු 38ක් වනතුරුත් ඉතාලියේ වාසය කළද ශ්‍රී ලාංකික ගතිය ඔහුගෙන් මැකී තිබුණේ නැහැ.
ප්‍රියදර්ශනි කහවල විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
