මහර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් ගණන 08ක් දක්වා ඉහළ ගිය අතර, සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 63ක්.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව වහාම අදාළ විමර්ශන භාරගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වරුවේ නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
රාගම - මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ දරා තිබුණේ ඊයේ දහවල් කාලයේදියි.
මහර බන්ධනාගාරයේ රැඳවියන් 3000කට වැඩි පිරිසක් සිටින අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු 500ක් පමණ ඊට ඇතුළත්.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පිරිසක් නොසන්සුන්වීම සිද්ධියට මුල් වී ඇති බවයි.
එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට කඩා පැන එහි දේපළවලට හානි සිදුකර තිබුණා.
බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ද රැඳවියන් විසින් ගිනි තබා තිබුණේ මෙලෙසින්.
කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළ වර්ධනය වෙමින් පැවැති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට සහ පිටත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම කැලණිය, රාගම සහ අවට පොලිස් ස්ථානවල කණ්ඩායම් ද කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළා.
අප වාර්තාකරු සඳහන් කළේ බන්ධනාගාරය තුළින් විටින් විට වෙඩි හඬ ඇසුණු බවයි.
බන්ධනාගාර පරිශ්‍රයේ ඇතිවු ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාවේ, ගම්පහ ගිනි නිවීම් ඒකකයේ සහ කොළඹ මහ නගර සභාවේ රථ 6ක් යොදා තිබුණා.
මේ අතර, බන්ධනාගාරයේ නොසන්සුන්තාවය සැලවීමත් සමග රැඳවියන්ගේ ඥාති හිතවතුන් බන්ධනාගාරය අසලට රැස්ව සිටියා.
කෙසේ වෙතත්, අද අලුයම් කාලය වනතුරුත් බන්ධනාගාරය තුළ ගින්න පැවැති අතර එය පාලනය කර තිබුණේ අද උදෑසනයි.
උදෑසන වන විටත් රැඳවියන්ගේ ඥාති හිතවතුන් බන්ධනාගාරය අසලට රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.
මහර බන්ධනාගාරයේ ඇතිවූ මෙම සිද්ධියේදී රැඳවියන් 8 දෙනෙකු මියගොස් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු 63 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ රාගම ශික්ෂණ රෝහලටයි.
තුවාල ලැබූ බන්ධනාගාරයේ හෙද නිලධාරිවරයෙකු සහ ඖෂධ සංයෝජකවරයෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වනවා.
තුවාල ලැබු රැඳවියන් අතරින් වැඩි පිරිසක් ද බරපතල තත්ත්වයේ පසුවන බව රාගම ශික්ෂන රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සදහන් කළා.
මේ අතර, රාගම ශික්ෂණ රෝහල ඉදිරිපිටටද රැඳවියන්ගේ ඥාති හිතවතුන් රැස්ව සිටියා.
මේ අතර, ඇතිවූ නොසන්සුන්තාව සොයා බැලීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මහර බන්ධනාගාරයට පැමිණියා.
මේ අතර බන්ධනාගාරයේ ඇතුවු සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පල කළා.
මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර්ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරුන්.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.