දැදුරු ඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු යටකර පලාගිය ටිපර් රථයේ රියදුරු මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.
පලාගොස් සිටි රියදුරා අද දහවල් අත්අඩංගුවට ගැනුණු අතර, අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ කොබෙයිගනේ පොලිසියට අනුයුක්තව සේවය කළ 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකේ.
නිකවැරටිය - කොබෙයිගනේ හාතලව ප්‍රදේශයෙන් නීතිවිරෝධී ලෙස දැදුරු ඔයේ වැලි ජාවරමක් සිදුවන බවට කොබෙයිගනේ පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව වැලි ජාවාරම්කරුවන් සොයා කොබෙයිගනේ පොලිස් ස්ථානයේ පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එහිදී තමන් දෙසට ධාවනය වූ වැලි පටවාගත් ටිපර් රථයක් නතර කරන ලෙස පොලිස් නිලධාරීන් සංඥා කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ ටිපර් රථය නොනවත්වාම ධාවනය කර තිබුණේ වැටලීමට එක්වූ පොලිස් කොස්තාපල්වරයෙකුද යට කරමින්.
සිද්ධියෙන් අනතුරට පත්වු කොස්තාපල්වරයා නිකවැරටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට තිබෙනවා.
මෙම සිද්ධියෙන් මිය ගියේ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිකවැරටිය - අඹගම්මන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.
පොලිස් කොස්තාපල්වරයා ටිපර් රථයට යටකර පලාගිය රියදුරු සහ ටිපර් රථය සොයා නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කන්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කළා.
ඒ අනුව ඔවුන් විසින් සිද්ධියට අදාළ ටිපර් රථය කුලියාපිටිය - කරන්තිත්පල ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගනු ලැබුවා.
පොලිස් කොස්තාපල්වරයා යටකරමින් ටිපර් රථය ධාවනය කළ රියදුරු නිකවැරටිය නගරයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට නිකවැරටිය පොලිසියේ නිලධාරීන් සමත්වුණා.
මීට පෙරද මෙම ස්ථානයෙදි වැලි ජාවරම් කරුවන් විසින් රස්නායකපුර පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදී තිබූ අතර ඉන් තුවාල ලැබු ස්ථානාධිපතිවරයා තවමත් අබාධිත තත්ත්වයේ පසුවනවා.