දැනට හුදෙකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම පහේ සිට හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළබඩ සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කරන අතර, ෆර්ගියුසන් පාර හැර මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ සෙසු ප්‍රදේශද හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මීගමුව පොලිස් බල ප්‍රදේශවලද හෙට අලුයම පහේ සිට හුදෙකලා බව ඉවත් කෙරෙනු ඇති.
කෙසේ වෙතත්, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාමසේවා වසම් හෙට උදෑසන පහේ සිට හුදෙකලා කිරීමට නියමිතයි.
එමෙන්ම, මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශයද හුදෙකලා කර තිබෙනවා. මේ වනවිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 15 ක් තවදුරටත් හුදෙකලා කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අදහස් පළ කළා. මේ අතර, කොරෝනා ආසාදිතයින් 22,988 ක් මේ වනවිට මෙරටින් වාර්තා වන අතර, ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 487 ක්. එම ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාව වූ 223 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ වාර්තා වී තිබුණා. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,450 ක්. එම ආසාදිතයින් අතරින් 13,223 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී ඇති අතර, ඔක්තෝම්බර් මස 04 වැනිදා සිට මේ දක්වා දක්වා හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 8,798 ක්. මේ අතර, දිවයිනෙන් වාර්තා වන කොරෝනා උප පොකුරු සම්බන්ධයෙන් සහ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා නොවන ප්‍රදේශවලින් හඳුනා ගන්නා කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කිරීමක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පුද්ගලයින් 200 දෙනෙකුගේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එසේම, හංවැල්ල - තුන්නාන ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමුණා. අවිස්සාවේල්ල - සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 11 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් අවිස්සාවේල්ල, යටියන්තොට, රුවන්වැල්ල, ඇහැලියගොඩ, කුරුවිට සහ කිරිඇල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් 368 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්. මීට පෙරද අදාළ කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී තිබුණා. එසේම, කොරෝනා වෛරසය ව්‍යාප්තව යෑමත් සමඟ ඉන් ආරක්ෂා වීම සඳහා භාවිත කරන මුඛ ආවරණ නිසි පරිදි බැහැර කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ අතර, කොවිඩ් 19 පැතිරීම හේතුවෙන් විදේශ රටවල රැකියාවේ යෙදී සිට මෙරටට පැමිණිමට නොහැකිව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 488 ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණියා. VIDEO