ඉල් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය මෙත් සිතින් සංවිධාන කරන හිරු සීල පාරමිතාව හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ සිට අද දිනය පුරා ක්‍රියාත්මකයි.
රට තුළ පවතින තත්ත්වය හමුවේ මෙවන් කටයුත්තක් සංවිධාන කර ඇති අතර, ඒ සඳහා සියලුදෙනාට නිවසේ සිට එක්වීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව අද උදෑසන 6.00 ට පෙහෙවස් සමාදන් කිරීම සිදු කෙරෙණු අතර, එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කරනු ලැබුවේ හෝමාගම සීවලී අසපුවේ නිර්මාතෘ අතිපූජ්‍ය ගෝනදෙණියේ සීවලි හිමියන් විසින්.
උදෑසන 7.30 ට පූජ්‍ය ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකාශ්‍යප හිමියන් විසින් පෝදා කාලීන ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතයි. පෙරවරු 8.30 ට සිතෙහි හැසිරීම පිළිබඳව කාලීන ධර්ම සාකච්ඡාව සිදු කෙරෙනවා.
ඊට පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියන් සහ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් එක්වීමට නියමිතයි.
පෙරවරු 10 ට පෝදා ධර්ම දේශනාව සිදුකරන්නේ පූජ්‍ය ඉඟුරේ පඤ්ඤාසේකර හිමියන් විසින්.
කවිබණ දේශනාව පෙරවරු 11 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ කාව්‍ය විශාරද ශාස්ත්‍රපති පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින්.
දහවල් 12.30 ට කාලීන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්, පූජ්‍ය හගරංගල සුමේධ හිමියන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් එක්වනවා.
මෙම සියලු වැඩසටහන් සජීවී ලෙස හිරු එෆ්.එම්. සහ හිරු ටී වී ඔස්සේ විකාශය කිරීමටද සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.