කට හඬින් මිනිස්සුන්ගේ ආදරය දිනාගත් ගුවන් විදුලි නිවේදිකාවක් තමයි නදී කියන්නේ. ඉතා ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වූ 'අනන්ත රාත්‍රිය' හරහා නදී බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණා. ඉතිං මේ කතාබහ ඒ නදී එක්කයි.
නදී කියන්නේ කවුද?
මගේ නම නදී වීරසිංහ. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි නංගි ඉන්නේ. මගේ ගම දෙනියායේ. 2009දි මම කොළඹට එනවා. ඒ තරුණ සේවා සභාවට පාඨමාලාවක් හදාරන්න. එතනින් තමයි මට මාධ්‍ය ක්ෂේත්රයට එන්න ලැබෙන්නේ. දැනට මම හිරු එෆ්.එම් නාලිකාවේ නිවේදිකාවක් ලෙස වැඩ කරනවා.
ඔබ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ?
මම ෆීල්ඩ් එකේ වැඩ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 11ක් විතර වෙනවා. මුලින්ම පටන් ගත්තේ පෞද්ගලික මාධ්‍ය ආයතනයක. ඒකේ මම වසර ගණනාවක්ම සේවය කළා. හිරු එකට ආවාට පස්සේ තමයි මාව බොහෝ දෙනෙක් හඳුනාගත්තේ.
ඔබ මෙහෙය වන වැඩසටහන් මොනවාද?
අනන්ත රාත්‍රිය කියලා ආදරේ ගැන කතා කරන වැඩසටහනක් කළා. ඒක බොහෝ දෙනාගේ ආදරයට ජනප්‍රියත්වයට පත් වුණා. මේ වෙද්දි මම හවස 2 - 4 ගුවන් කාලයේ ගුවන් විදුලි නාට්‍යක් මෙහෙයවනවා. ඒක තමයි ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නාට්‍ය බෙල්ට් එක.
මාධ්‍යට එන්න පොඩි කාලේ ඉඳලාම හීනයක් තිබුණාද?
පොඩි කාලේදි මට කවුරුත්ම වෙන්න හීනයක් තිබුණේ නැහැ. මගේ අම්මාගේ හීන මගේ හීන කරගත්තා. අම්මාට ඕනේ වුණා මාව නැටුම් ගුරුවරියක් කරන්න. මම කොහොමත් පාසැල් කාලේදි නැටුම් කළා. දැන් මම උපාධියට කරන්නෙත් නර්තනය. මම පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණාට පස්සේ තමයි මම පාසැල් වේදිකාවේ නැගලත් කතා කරන්න පටන් ගත්තේ. යෞවන සමාජ හරහා තමයි මට මහරගම තරුණ සේවා සභාවට එන්න ලැබෙන්නේ. එතනදි මාව වැටෙන්නේ මාධ්‍ය ඉගෙනගන්න. අහම්බෙන් වගේ.ඒකෙන් මාධ්‍ය ගැන ඉගෙනගත්තා. ආ..ඊටකලින් ගුවන් විදුලියෙන් මගේ කටහඬ ඇහුණානේ. අපේ පාසැලේ සර් කෙනෙක් හිටියා රුහුණු සේවයේ ගුවන් කාලයක් අරගෙන වැඩසටහන් කරපු. ඒකට සර් මට කතා කළා. එතනින් තමයි මගේ කටහඬ මුලින්ම ගුවන් විදුලියෙන් ඇහුනේ.
අවුරුදු එකොලහක මාධ්‍ය ජිවිතයේදි ලැබුණු අත්දැකීම් කොහොමද?
ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ඒ තරම් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබුණා. මාධ්‍ය ක්ෂේත්රයේ ඔළුව තියාගෙන ඉන්නවා කියන එක ලේසි නැහැ. මම ගොඩක් දේවල් කරගත්තේ තනියම. හැල හැප්පීම් ලොකුවට තිබුණා. හැබැයි මම ඒ කිසිම දෙයක් ලොකුවට හිතුවේ නැහැ. ඒ කට්ට කාගෙන ඉඳලා මම මේ තැනට ආවා. හිරු එකේදි මට ලැබුණු දේවල් ඇත්තටම වටිනවා. කෙනෙක්ගේ ජීවිතේ වෘත්තීය නිසා බබලනවා කියලා මම හිරු එකේදි ඉගෙනගත්තා.
'අනන්ත රාත්‍රිය' කියන්නේ ආදරය ගැන කතා කරන වැඩසටහනක්. ඇත්තටම ආදරය ගැන නදී දකින්නේ කොහොමද?
ආදරය කියන්නේ මගේ විෂය. ඔෆිස් එකේදි වුණත් ආදරය ගැන කතා කරද්දි මාව තමයි පෙන්වන්නේ. ආදරය මගේ වොයිස් එකේ තිබෙනවා වගේ. ඒක නිසා මට ආදරය ෆීල් වෙනවා. අනන්ත රාත්‍රියේදි ආදරවන්තයින්ට තිබෙන ප්‍රශ්න, හැඟීම් අපි ෂෙයා කරගත්තා. ගොඩක් වෙලාවට එයාලට තියෙන්නේ එයාලගේ ප්‍රශ්න ෂෙයා කරගන්න බැරිව විඳින දුක්. අනන්ත රාත්‍රියෙන් කළේ ආදරවන්තයින්ට කියාගන්න බැරිව තිබුණු දේවල් කියන්න බෙදාගන්න ඉඩක් හදපු එක. ඒ නිසා තමයි අනන්ත රාත්‍රිය ජනප්‍රිය වුණේ. ඒ වගේම මම දැන් කරන සිහින සිත්තරාවී ගුවන් විදුලි නාට්‍යයෙත් ආදරය ගැන කතා කරනවා. ඒකෙදි මට ආදරය ගැන ලොකුවට කතා කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයු මම හම්බෙන හැම වෙලාවකම ආදරය ගැන කතා කරනවා.
ගමෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මිනිස්සු කතා කරනවා. මුලින් අම්මාගේ තාත්තාගේ හැඳුනුම්කම මත බොහෝ දෙනෙක් හඳුනාගත්තාට දැන් මාව හඳුනන්නේ මම නිසායි. ඒකට ඇත්තටම මම ආසයි. හැබැයි මම ජනප්‍රියත්වය පස්සේ යන්නේ නැහැ. අම්මාට තාත්තාට මම ගැන ආඩම්බරයක් තිබෙනවා. මම ඒක දැකලා තිබෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මේ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න ආසයි. මේකේ අපිට රැඳෙන්න පුළුවන් කාලයක් තිබෙනවා. අපේ හඬ හැමදාම එක වගේ නැහැනේ. හඬ ලස්සනට තිබෙන තාක් අපිට වැඩ කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කරන දවසක් එනවා. එදාට අපි තව දෙයකට සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒකට මම සැලසුම් හදාගෙන යනවා.
උදව් කළ අය කවුද?
මුලින්ම මගේ පාසැල වන දෙනියාය ජාතික පාසැල මතක් කරන්න ඕනේ. එතකොට මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝම. එතකොට ලංකාතිලක සර්, තරුණ සේවා සභාව, හිරු එෆ් එම් එකේ නියෝජ්‍ය වැඩසටහන් අධ්යක්ෂතුමා සහ කාර්ය මණ්ඩලය සහ මගේ යාළුවෝ හැමෝටම ස්තූතියි කරනවා. ඒ වගේම මාව ආදරයෙන් බලාගන්න කෙනෙක් ඉන්නවා. එයාවත් ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද - ලංකාදීප