මහනුවර ජාතික රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ රෝගී සායනයේ සේවය කරන හෙදියන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බවට ඊයේ හඳුනාගැනීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී තවත් ආසාදිතයන් 17 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.
රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කළේ වෛද්‍යවරයෙකු සහ හෙදියන් 9 දෙනෙකුද එම නව ආසාදිතයන් අතර වන බවයි.
හැටන් - කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද අලුතින් කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඔවුන් කොළඹ රැකියාවල නිරතවන මෙම පිරිස දීපවාලි සැමරීම සඳහා වතුකරයේ සිය නිවෙස්වලට පැමිණ සිටියදී පෙරේදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය සඳහන් කළේ.
මේ අතර බන්ධනාගාරවලින්ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් 800 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර, පවතින තත්වය සැළකිල්ලට ගෙන සුළු වැරදි සඳහා සිර දඬුවම් නියමවූ පුද්ගලයන් 606 දෙනෙකුට ජනපති පොදු සමාව ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළා.
කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකළා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණේ.