ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස ගෞරවයට පාත්‍ර වූ ආර්ජන්ටිනාවේ දියේගෝ මැරඩෝනා පසුගිය 25දා ජීවිතයෙන් සමුගත්තේ පාපන්දු ලෝකය ශෝකයෙන් මුසපත් කරවමිනි. මිය යන විට මැරඩෝනාගේ වයස අවුරුදු 60ක් විය. මරණයට හේතුව ලෙස සැලකෙන්නේ හෘදයාබාධයකි. කෙසේ නමුත් මෙම මස මුලදීද ඔහු රෝහල් ගත කර සිටි බව සඳහන් වේ. නොවැම්බර් 2 වැනි දින ඔහු රෝහල්ගත කර තිබුණේ මානසික හේතුවක් නිසා බැව්ද පැවැසේ. එයින් දිනකට පසු මැරඩෝනා ශල්‍යකර්මයකට භාජන කර තිබුණේ මොළයේ ලේ කැටියක් සිර වීම නිසාය. නොවැම්බර් 12 වැනි දින ඔහුට රෝහලෙන් නික්ම යෑමට අවසර ලැබී තිබූ අතර එයින් පසු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිය නිවෙසේ විවේක සුවයෙන් පසු වූයේය. හෘදයාබාධයක් වැලඳීමෙන් ඔහු මරණයට පත් වූයේ මේ අතරතුරයි.
1960 ඔක්තෝබර් 30 වැනි දින මැරඩෝනා උපත ලැබුවේ ආර්ජන්ටිනාවේ ඉතා දිළිඳු පවුලකය. ඔහුගේ ළමා විය ගත වූයේ මුඩුක්කු ජනාවාසවලින් ගහන ප්‍රදේශයක බවද සඳහන් වේ. දරුවන් හත් දෙනකුගෙන් සමන්විත පවුලක ඔහු පස්වැනියා විය. ගැහැනු දරුවන් සිවු දෙනකුට පසු ලැබුණු පළමු පිරිමි දරුවා ඔහු වීමද විශේෂත්වයකි. මැරඩෝනාට පළමු වරට පාපන්දුවක් තෑග්ගක් ලෙස ලැබී තිබුණේ වයස අවුරුදු 3දීය. කුඩා වියේ පටන්ම ඔහු පාපන්දු ක්‍රීඩාවට විශාල ඇල්මක් දැක් වූ අතර එම ක්‍රීඩාවට දක්ෂතා ඇති දරුවන් සොයමින් සිටි පාපන්දු පුහුණුකරුවකුගේ අවධානය ඔහු වෙත යොමු වී තිබුණේ වයස අවුරුදු 8දීය.
මැරඩෝනා විවිධ පාපන්දු සමාජ වෙනුවෙන්ද ක්‍රීඩා කර ඇති අතර ඔහු ආර්ජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගි වීමට පටන් ගත්තේ 1977 වසරේ සිටයි. 1994 වසර දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග 91කට සහභාගි වී ගෝල 34ක් රැස් කළේය. ඔහු රැස් කළ ගෝල අතරින් වඩාත්ම කතා බහට ලක් වූයේ 1986 වසරේ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසාන තරගයේදී එංගලන්තයට එරෙහිව ලබාගත් ගෝල දෙකයි. මෙම ගෝල දෙකෙන් දෙවැනි ගෝලය සැලකුණේ ‘සියවසේ ගෝලය’ ලෙසිනි. එය එතරම්ම ඇදහිය නොහැකි ගෝලයක් වූ බැවිනි. නමුත් ඔහුගේ පළමු ගෝලය දැවැන්ත ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූයේ වෙනත් හේතුවක් නිසාය. එයට හේතු වූයේ එය පාදයෙන් හෝ හිසෙන් හෝ නොව අතින් එල්ල කළ පහරකින් ලබා ගත් ගෝලයක් වීමයි. නමුත් එය අතින් එල්ල කළ පහරක් බව විනිසුරුවරුන්ට පෙනුණේ නැත. අද කාලයේ මෙන් එකල විනිසුරුවරුන්ට තාක්ෂණයේ සහාය ලබාගැනීමේ හැකියාවක්ද නොවූයෙන් මෙය නීත්‍යනුකූල ගෝලයක් ලෙස අනුමත විය. නමුත් ඡායාරූප සහ විඩියෝ දර්ශන හරහා මෙම රහස හෙළි වූයෙන් විශාල ආන්දෝලනයක් හටගත්තේය. ගෝල 2-1ක් වශයෙන් එම තරගය ජය ගැනීමට ආර්ජන්ටිනාවට හැකි වූ අතර එයින් පසු බටහිර ජර්මනිය සමඟ පැවැති අවසන් තරගයේදී එම කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජයට පත් කරමින් ලෝක කුසලානය දිනාගැනීමට සමත් විය. ඒ වනවිට ආර්ජන්ටිනා පිලේ නායකත්වය දැරුවේද මැරඩෝනායි.
කෙසේ වෙතත් එංගලන්තය සමඟ පැවැති තරගයේදී පළමු ගෝලය එල්ල කළේ හිසෙන් නොව අතින් බව මැරඩෝනා සියයට සියයක් පිළිගත්තේ එයින් වසර 19කට පසු 2005 වසරේ එක්තරා රූපවාහිනි වැඩසටහනකදීය. එය තමා සිතාමතාම අතින් එල්ල කළ පහරක් බව ඔහු එහිදී පිළිගත්තේය. 2008 වසරේ බ්‍රිතාන්‍ය පුවත්පතක් මෙම ගෝලය පිළිබඳ ලිපියක් පළ කරමින් අඟවා තිබුණේ එංගලන්තයේ කළ සංචාරයක් අතර මැරඩෝනා මෙම ගෝලය සම්බන්ධයෙන් එංගලන්තයෙන් සමාව ගත් බවයි. නමුත් මෙම ලිපිය පළවීමෙන් පසු මැරඩෝනා දැඩි ස්වරයෙන් පවසා තිබුණේ තමා කිසි විටෙක එබඳු සමාව ගැනීමක් නොකළ බවය. පුවත්පත තමාගේ අදහසක් විකෘති කර පළ කර ඇති බවටද ඔහු චෝදනා කළේය. පසුව සනාථ වූයේ ඔහු සැබැවින්ම සමාව ගැනීමක් කර නොමැති බවය.
මැරඩෝනා එතරම් උස පුද්ගලයකු නොවීම පාපන්දු ක්‍රීඩාවේදී ඔහුට වාසියක් වී තිබූ බැව් සඳහන් වේ. ඔහුගේ උස අඩි 5 අඟල් 5ක් පමණි. මේ හේතුවෙන් ඔහුගේ සිරුරෙහි ගුරුත්ව කේන්ද්‍රය පහළින් පිහිටා තිබීම නිසා සිය සිරුර පාලනය කිරීම සෙසු බොහෝ ක්‍රීඩකයන්ට වඩා ඔහුට පහසුය. මැරඩෝනා සැලකෙන්නේ පන්දුව පාස් කිරීමට, පාලනය කිරීමට සහ විරුද්ධ පිලේ ක්‍රීඩකයන් මුළා කරමින් ඉදිරියට ගෙන යෑමට විශිෂ්ට හැකියාවක් තිබූ අතිශයින් නිර්මාණශීලී ක්‍රීඩකයකු ලෙසිනි. විරුද්ධ පිලේ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඔහු වටකරගෙන සිටියදී පවා ඔවුන් අතරින් රිංගා පන්දුව ගෝල් කණුව කරා ගෙනයෑමට ඔහු සමත් විය. කලින් සඳහන් කළ ‘සියවසේ ගෝලය’ද මේ ආකාරයෙන් රැස් කළ අරුම පුදුම ගෝලයකි.
මොන තරම් විශිෂ්ට ක්‍රීඩකයකු වුවද මැරඩෝනාගේ පෞද්ගලික ජීවිතය බොහෝ හැලහැප්පීම්වලින් ගහන වූවක් විය. ක්‍රීඩා කරමින් සිටි කාලයේ පවා ඔහු මත්ද්‍රව්‍යවලටත්, මත්පැන්වලටත් ඇබ්බැහිව සිටි බැව් පැවැසේ. මෙම තත්ත්වය නිසා මනෝචිකිත්සක සායනයන්ට පවා සහභාගි වීමට මැරඩෝනාට සිදුව තිබිණි.
ඔහු වාමාංශික දේශපාලන අදහස්වලට නැඹුරුවක් දැක් වූ කෙනකු ලෙසද සැලකේ. කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ සමඟ මෙන්ම වෙනිසුවෙලාවේ හිටපු ජනාධිපති හියුගෝ චාවේස් සමඟද ඔහු සමීපව ඇසුරු කළේය. ‘ෆිදෙල් කරන හැම දෙයක්ම චාවේස් කරන හැම දෙයක්ම මම දකින්නේ හොඳම දේවල් හැටියටයි’ යැයි වරක් මැරඩෝනා සඳහන් කර තිබිණි. ඔහු වසර 4කට කිට්ටු කාලයක් කියුබාවේ නතර වී සිටියේය. ඒ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මිදීම සඳහා පුනරුත්ථාපනය වෙමින් සිටියදීය. ඔහුට කියුබාවට යෑමට සිදුව තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා වරක් හෘදය වස්තුවේ ඇති වූ බරපතළ ගැටලුවකින් පසුවය. මෙම ගැටලුව නිසා එම අවස්ථාවෙහි ඔහු මරණාසන්න වූ බවද සඳහන් වේ. කියුබාවේ ගත කළ කාලය තුළ මැරඩෝනා කස්ත්‍රෝට කෙතරම් සමීප වීද යත් ඔහු කස්ත්‍රෝ හැඳින්වූයේ තම ‘දෙවැනි පියා’ ලෙසිනි. මැරඩෝනා සිය වම් පාදයේ කස්ත්‍රෝගේ රුව රැගත් පච්චයක් කොටාගෙන සිටි බැව්ද පැවැසේ.
මැරඩෝනාගේ විවාහ ජීවිතයද විවිධ ගැටලුවලට මුහුණ දුන් එකකි. 1984 ඔහු විවාහ වූයේ දිගු කලක් ඔහුගේ පෙම්වතිය වූ ක්ලෝඩියා විලෆෙන් සමඟයි. මෙම විවාහයෙන් ඔවුන්ට දියණියන් දෙදෙනකු ලැබිණි. වසර 20ක යුග දිවියකින් පසු 2004 වසරේ ඔවුහු එකිනෙකාගෙන් දික්කසාද වූහ. මැරඩෝනාට සිටින සමස්ත දරුවන් සංඛ්‍යාව ගැනද බොහෝ මතභේද පවතී. ඔහු තමාගේ බව පිළිගත් දරුවන් 5 දෙනකු සිටින බැව් සඳහන් වේ. ඒ විලෆෙන්ද ඇතුළු කාන්තාවන් සිවු දෙනකුගෙනි. මේ අතර ඔහුට තවත් දරුවන් සය දෙනකු සිටින බවටද කතාවක් තිබේ. එයින් තිදෙනකු සිටින බව පැවැසෙන්නේ කියුබාවේය. වරක් ඔහුගේ දියණියක විහිළු කරමින් පවසා තිබුණේ. තම පියාට දරුවන්ගෙන්ම පාපන්දු කණ්ඩායමක් සෑදීමට හැකියාව ඇති බවය. ඔහුගේ මරණයෙන් පසු දේපළ බෙදා ගැනීම සඳහා මෙම දරුවන් අතර ගැටුම් ඇති විය හැකි බවටද ඇතැම් මාධ්‍ය සැක පළ කර තිබේ.
පසු කාලයේ මැරඩෝනාගේ ශරීර සෞඛ්‍යය බෙහෙවින් පිරිහෙන්නට පටන් ගත්තේය. මත්ද්‍රව්‍ය සහ මත්පැන් නිසා ඇති වූ බලපෑමද වුවමනාවට වඩා ශරීරය මහත් වීමද මෙම තත්ත්වයට හේතු වී තිබිණි. මත්ද්‍රව්‍ය/මත්පැන් නිසා ඔහුගේ හෘදය වස්තුව බෙහෙවින් දුර්වල වී තිබූ බැව් සඳහන් වේ. මිය ගිය දින උදයේ ඔහු ආහාර ගැනීම සඳහා නිවෙසේ උඩ තට්ටුවේ සිට පහළට පැමිණ තිබුණේ සුදුමැලි ගතියෙන් යුතුව බැව් වාර්තා වේ. තමාට සීතල ගතියක් දැනෙන බවක්ද අසනීප ගතියකින් පෙළෙන බවක්ද පවසා ඔහු නැවත ඔහුගේ කාමරයට ගොස් තිබුණේය. ඊට පැය කිහිපයකට පසු හෙදියක පැමිණ බලද්දී ඔහු ඇඳ මත අපහසුවෙන් සිටිනු දැක වහාම වෛද්‍ය කණ්ඩායමක් කැඳවා තිබූ නමුත් ඔවුන් පැමිණීමට පෙර මැරඩෝනා ජීවිතය හැරගොස් තිබිණි.
පාපන්දු ලොව කිරුළු පලන් මෙම විශිෂ්ට ක්‍රීඩකයා වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් පියවර ගත්තේය. ‘ඔබ අපව ලෝකයේ මුදුනටම රැගෙන ගියා’ යැයි ඔහු පවසා තිබිණි. ‘ඔබ අප තුළ අපමණ සතුටක් ඇති කළා. ඔබ තමයි සියලු ශ්‍රේෂ්ඨයන් අතර ශ්‍රේෂ්ඨයා මේ ලොව පහළ වූවාට ස්තුතියි. දියේගෝ ජීවිත කාලය පුරාම අපට ඔබ නැති අඩුව දැනේවි’ ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබේ.
සනත් වික්‍රමගේ
මව්බිම