කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 100ට ආසන්න වී තිබෙනවා.
ඊයේත් කොරෝනා මරණ 3 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහල ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී ඊයේ මියගොස් ඇති අතර කොරෝනාත් සමඟ බැක්ටීරියා ආසාදනයක් සහ නිධන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
මිය ගිය අනෙක් පුද්ගලයා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80ක් වයසැති පිරිමි පුද්ගලයෙක්.
මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මොහු මිය ගොස් ඇති අතර අධිරුධිර පීඩනය, නියුමෝනියාව තත්ත්වය සහ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ හෘදයාබාධයක් මෙම මරණයට හේතු වී තිබෙනවා.
73 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද මෙලෙස මියගිය පිරිස අතරට වාර්තා වන අතර ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ පසුගිය 23 වනදායි.
අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ ආඝාත තත්ත්වයක් මෙම මරණයට හේතු වී තිබෙනවා.
මේ අතර, ඊයේ නව කොරෝනා ආසාදිතයින් 559 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 553 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හා සම්බන්ධ ආශ්‍රිතයින් වනවා.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොරෝනා පොකුර 18,491 දක්වා ඉහළ ගියා.
ඊට අමතරව තුර්කිය, මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි තුන් දෙනෙකු මෙන්ම ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වුණා.
නාවිකයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට ඊයේ හදුනා ගැනුණා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් ලෙස දැක්වෙන අතර ආසාදිතයන් 6113 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව 15,816ක්.
මේ අතර, ඇහැලියගොඩ - දිවුරුම්පිටිය ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 44 දෙනෙකු අලුතෙන් හඳුනා ගැනීමත් සමඟ එම කර්මාන්තශාලාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ ඇහැලියගොඩ ප්‍රදේශය තුළ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් දැනටමත් පාසල් කිහිපයක් වසා දැමීමට කටයුතු කර ඇති අතර, ඇහැලියගොඩ කලාපයේ සියළු පාසල් තවත් සතියක කාලයක් වසා දැමීම පිළිබදව අද දිනයේ තීරණය කරන බව ඔහු කියා සිටියා.
කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් අද සිට සතියක කාලයක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් තීරණය කර තිබෙනවා.
ඒ, අම්පාර දිස්ත්‍රික්කයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැනීමෙන් අනතුරුවයි.