අද සාක්ෂි විමසීම උණුසුම් මුහුණුවරක් ගත්තා.
හිටපු ජනාධිපතිවරයාගෙන් අද ප්‍රශ්න කිරීමට ආරම්භ කළේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතායි.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ- හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ
ඔබතුමන්ට ව්‍යවස්ථාව ගැන හොඳ දැනුමක් තිබෙනවාද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - යම් ප්‍රමාණයකට අවබෝධයක් තිබෙනවා.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ- හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ
ජාතික ආරක්ෂක කවුන්සිලයට අනිවාර්යයෙන්ම සම්බන්ධය විය යුතු නිලධාරීන් පිළිබඳ ඊට අදාළ ගැසට් පත්‍රයේ සඳහන්වනවා. ඒ අතර පොලිස්පති හිටියත් ඔබතුමා 2018න් පසු පූජිත් ජයසුන්දර මහතාව කැඳෙව්වේ නැහැ නේද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ඔව්, මම එය පිළිගන්නවා.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - ඔබ එලෙස අනිවාර්ය සාමාජිකයන් නොකැඳවීම නීතියට පටහැනිව බව මම යෝජනා කරනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - මම ඒක ප්‍රතික්ෂේප කරනවා. නීති පොතේ එහෙම තිබුණාට එක් එක් අවස්ථා අනුව මට ක්‍රියාකරන්න වුණා. මට විශ්වාසවන්ත කෙනෙක් මම කැඳවන්න ඕනෑ. මගේ විශ්වාසය කැඩුව නිසා පොලිස්පති නැතුව නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ව මම රැස්වීමට කැඳෙව්වා.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - ඒ කියන්නේ ඔබට නීතිමය ප්‍රතිපාදන වැඩක් නැහැ. ඔබගේ කැමැත්ත අනුව කටයුතු කළා. එහෙම නේද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - නැහැ, එහෙම නීති රෙගුලාසි නොතැකුවා නොවෙයි. ඒක ජනපතිගේ අභිමතය පරිදි විශ්වාසය අනුව නිලධාරීන් ගෙන්වනවා.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - මට පෙන්වන්න ජනාධිපතිගේ අභිමතය අනුව කටයුතු කරන්න පුළුවන් කියලා ඔය ගැසට් එකේ කොහේ හරි තියෙනවාද කියලා?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ගැසට් එකේ නොතිබෙන්න පුළුවන්. විනයක් හික්මීමක් ඇතිව තමන්ගේ ආයතනය කරගෙන යන්න නම් නියමුවාට අවශ්‍ය තීරණ ගන්න පුළුවන්.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - ගැසට් එකේ ප්‍රතිපාදන දීලා තිබෙනවාද විශ්වාසවන්තභාවය ගැන ?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - මේ ගැසට් එකේ නොතිබෙන්න පුළුවන්.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - රටේ ප්‍රධාන පුරවැසියා සෑම අවස්ථාවකම බැඳී සිටිනවා නීතිගරුකව ධුරයේ කටයුතු කරන්න. ජනාධිපතිට කිසිම අවස්ථාවක රටේ නීතිය අබිබවා කටයුතු කරන්න බැහැනේ නේද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - කොහෙත්ම බැහැ.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - එහෙනම් නීතියට අනුව ඒ ගැසට් නියමයන් පිළිපදින්න ඕනෑ නේද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ඔව් පිළිගන්නවා.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - ඔබ එහෙනම් ආරක්ෂක කවුන්සිලයෙන් පූජිත් ජයසුන්දර පොලිස්පති බැහැර කිරීම හිතාමතා කරපු නීතිමය ප්‍රතිපාදන පැහැර හැරීමක් නේද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. පොලිස්පති නෙමෙයි මම මගේ අගමැතිවත් අයින් කළානේ.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - අගමැති ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෙක් නෙමෙයිනේ හිටපු ජනාධිපතිතුමා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - නැහැ ඉතින් ළඟම කෙනා අගමැතිනේ. ඒත් මම අයින් කළානේ. ඒකයි කිව්වේ. අගමැති විතරක්යැ මුළු කැබිනට් එකම අයින් කළානේ මම.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - ඒ අයින් කරපු එක උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය වැරදියි කියලා නියෝගයක් දීලාම කිව්වානේ නේද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - නීති පොතේ නැති ඒවා රාජ්‍ය පාලනයේදී තියෙනවා ස්වාමීනි. විශ්වාසවන්ත කෙනා ළඟට ගන්නවා. නැති කෙනා දුරස් කරනවා. ඒකටනේ රාජ්‍ය පාලනය කියන්නේ. උපාය පාවිච්චි කරන්න ඕනෑ.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - ඔබේ කාලයේ නීති රාමුවෙන් පිට ගිහින් කටයුතු කිරීම අවස්ථානුකූලව යෝග්‍යයි කියන එකයි ඔබ අනුමත කළේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - නැහැ කොහෙත්ම මම එහෙම කියන්නේ නැහැ. මම නීතියට අනුවයි වැඩ කළේ.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - ඔබගේ ඉතාම බොළඳ හේතු නිසා තමයි මෙහෙම තීරණ ගත්තේ කියලා මම ඔබට යෝජනා කරනවා සාක්ෂිකරු.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - සම්පූර්ණයෙන් බැහැර කරනවා. බොළඳ වැඩ කරන කෙනෙක්ට ජනාධිපතිධුරයේ ඉන්න බැහැනේ ස්වාමීනි.
ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ - ඔබ යහපාලන ආණ්ඩුවේ පැවැත්ම ගැන හිතපු එකයි හැම විටම කළේ. මම එහෙම යෝජනා කරනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - මහ බැංකුවේ සිද්ධිය වුණ වෙලාවේ තමයි යහපාලන ආණ්ඩුවට හෙණ ගැහුවේ. මම ඒ වෙලාවේ හැදුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. නමුත් මට ඒකට බලතල තිබුණේ නැහැ.