විටෙක දඟකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘතය. අහන ඕනෙම ප්‍රශ්නයකට මගනොහැර දෙන උත්තරය සැමවිටම නිර්ව්‍යාජය. කරන දේ කියන්නත් කියන දේ කරන්නත් අදාල අයට මූණටම කියන්නට තරම් එඩිතරය. එලෙස තමන්ටම ආවේනික වූ ගති ලක්ෂණ සමග දිවිගෙවන ඇය සැබැවින්ම ස්වාධීනය, සුන්දරය, යුරේනි නොෂිකා මේ ඇය ගැනයි.
කොහොමද යුරේනි ජීවිතේ...
ජීවිතේ ඉතින් වෙනද වගේම තමයි. පුංචි වෙනසකට තියෙන්නෙ රටේ පැතිරෙන වසංගත තත්ත්වය නිසා අපි හැමෝටම විවේකයක් ලැබිල තියෙන එක. කොරෝනා ප්රශ්නය නැත්නම් අපිට මේ නිවාඩුව ගොඩක් වටිනවා. මේ තත්ත්වය ඉක්මනින් සමනය වේවා කියලා උදේ හවස ප්‍රාර්ථනා කරන අතරෙ මගේ ඉදිරිය ප්ලෑන් කරගන්න වගේම මම ගැන හිතන්න මම මේ නිවාඩුව ප්‍රයෝජනයට ගනිමින් ඉන්නවා.
මේ දිනවල ඔබේ කලා කටයුතු ගැන කතා කළොත්...
හිරු වින්දනීය උදෑසනක් ෆෝග්‍රෑම් එක තමයි කරමින් හිටියෙ. පාසල් නිවාඩුවත් එක්ක ඒකටත් නිවාඩු ලැබුණනෙ. දෙසැම්බර් 31 පැවැත්වෙන හිරු සිහින රැයක් සහ හිරුත් එක්ක නත්තල් වැඩසටහන්වල රියසල් යෙදිල තිබුණත් ඒ හැමදේම තාවකාලිකව නතර වුණා. අලූත් ටෙලිනාට්‍යයකට ආරාධනාවක් ලැබුණා. ඒත් තාම පිටපතවත් ලැබුණෙ නෑ. එහි අධ්යක්ෂවරයා සර්ප්‍රයිස් එකක් හැටියට ස්ක්‍රිප්ට් එක මට දෙන්න හදනව වගේ.
අඩුවෙන් වැඩ කළත් ෆොටෝ ෂූට් එකක් නිසා මේ දවස්වල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙලා නේද?
ම්.... මම නම් ඒගැන දන්නෙ නෑ. මම හිතන විදියට එහෙම කතාබහට ලක්වෙනවා නම් ඒ ස්විම් සූට් එකකින් කරපු ෂූට් එක වෙන්න ඕන. දැන් ඔය ඇඳුම ඇඳල අපි පූල් එකකට බහිද්දී එතන කාන්තාවන්ට පමණක් වෙන් වුණ තැනක් නෙමෙයිනෙ. පුරුෂ පාර්ශ්වයත් ඉන්නවා. පැජන්ට් එකකට ඉදිරිපත් වුණාම ඒක අනිවාර්යෙන් අඳින්න හැමෝටම අවස්ථාවක් ලැබෙනවා. එතකොට එහෙම ඇඳල ඉන්නව පිරිමි අය දකින්නෙ නැතුවද මේ යුරේනිගේ ෆොටෝ ෂූට් ගැන ලොකුවට කතා වෙන්නෙ. අහන්න සතුටුයි. පුංචි දෙයක් කරලා මං ගැන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා නම්. ඒ කියන්නෙ මම මගේ වැඬේ සාර්ථකව කරල තියෙනවා.
පාසල් යන කාලෙ හිතුව ද රංගනයට යොමු වුණොත් හොඳයි කියලා.
එහෙම හිතනව තියා ඒ කාලෙ අපි ටීවී බැලූවෙත් ඉරිදට විතරයි. අද වගේ එක එක විදියේ වැඩසටහන් නරඹන්න අපට අවස්ථාව ලැබුණෙ නෑ. ¥ දරුවෝ නෑදෑයෝ වගේ ටෙලි නාට්‍ය තමයි අපි බැලූවේ. රංගන හැකියාව පෙර පිනකට මට ලැබුණ දෙයක් වගේම අවස්ථාවක්.
පාසල වගේම අධ්‍යාපනයට දුන්නු තැන මතක් කළොත්...
කොල්ලූපිටියෙ මෙතෝදිස්ත විදුහලේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. අවුරුදු 12 ක්ම හැදුනෙ වැඩුනෙ හොස්ටල් එකේ. බොහොම දඟකාර ළමයෙක් විදියට ප්‍රසිද්ධියක් උසුලපු කෙනෙක්. වැඩිදුර ගැවසුනේ ග්රවුන්ඞ් එකේ. ඒකාලෙ මගේ හමත් මගේ කොණ්ඩෙ පාටම තමයි. දැන් ළමයින්ට වගේ බියුටි එක ගැන අබ ඇටයක දැනුමක් තේරුමක් නෑ. ඒත් ළමා කාලය කියන එක උපරිමව විඳිමින් අධ්‍යාපන කටයුතු හරියටම කළා.
ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යන්න උත්සාහ කළේ නැද්ද?
අවුරුදු 7-8 කියන කාලෙදි මට පුදුම ක්‍රිකට් පිස්සුවක් තිබුණා. නිවාඩු කාලෙට ගෙදර ආවම ක්‍රිකට් මැච් බලන්නෙ ආච්චි එක්ක රංඩු කර කර. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙන්න පුදුම උණක් තිබුණා. රනින්වලට දක්ෂ හොඳ ටීම් ප්ලේයර් කෙනෙක්. මීටර් 100-200 උපරිම දක්ෂතා දැක්වූවා. ක්‍රිකට් වගේම නෙට්බෝල් මීට් එකෙත් දක්ෂ සාමාජිකාවක්.
පාසල් ජීවිතෙන් පස්සෙ...
ඩයලොග් ආයතනයක් රැකියාවක් ලැබුණා. බොහොම සතුටින් අවුරුදු 4 ක් මම එහි සේවය කළා. නීතිය පැත්තෙන් මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ කියලා හිතාගෙන ලෝ එන්ට්‍රන්ස් කළා. ඒත් රිසල්ස් මදි වුණා.
ඔබ නිරූපණ ක්ෂේත්රයට යොමු වුණා..
ඒක වෙන්නෙ මෙහෙමයි. ඩයලොග් ආයතනයෙන් ඉවත්වෙලා. යාළුවෙකුත් එක්ක ගුවන් සේවිකාවක් ලෙස ගුවන් සමාගමකට බැඳෙන්න ගියා. අයැදුම් කරපු දාහක විතර පිරිසක් අතරින් අන්තිම 8 දෙනා අතරටත් මම තේරුණා. මොකක් හරි හේතුවක් නිසා අපිට ඒ රැකියා අවස්ථා හිමිවුණේ නෑ. නොලැබීම කියන්නෙ ඒක තමයි. එහෙම ඉන්න අතරේ මට අහම්බෙන් රොසෑන් ඩයස් මහත්මිය මුණ ගැහෙනවා. ඒත් සමඟ තමයි නිරූපන ක්ෂේත්රයට යොමු වෙන්නෙ.
නිරූපණයට යොමු වුණේ රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන නේද?
ඔබ ඔය කියන්නෙ අද තියෙන තත්ත්වය ගැන. ඒත් නිරූපනය හදාරන හැමෝටම රඟපාන්න හැකියාව වගේම අවස්ථාව උදාවෙන්නෙ නැහැ. රංගනය කියන උතුම් වෘත්තිය හිිමි වෙන්න නම් ලොකු වාසනා ගුණයක් තියෙන්නම ඕන.
ඒ වාසනා ගුණය යුරේනිව හොයා ගෙන ආවා ..
ඇත්තටම ඔව්. ඒ දවස මගේ ජීවිතේ සුන්දරම දවස්වලින් එකක්. එදා මම මහරාජා ආයතනයට ගියේ මගේ යෙහෙළියක් හමුවෙන්න. මාත් එක්කම ග්රවුන්ඞ් ෆ්ලෝ එකේ ඉඳල කට්ටියක් ගියා ෆස්ට් ෆ්ලෝ එකට. ඔවුන් මා දිහා බලල බොහොම සුහදව සිනාසුණා. මම මගේ මිතුරිය හමුවෙලා නැවත එද්දී එහි සිටි පිළිගැනීමේ නිලධාරිනිය මට කිව්වා ෆස්ට් ෆ්ලෝ එකේ ටෙලිනාට්‍යයක ඔඩිෂන් එකක් තියෙනවා මේවෙලාවෙ ඒ අය මාව හෙව්වා ගිහින් කතාකරල යන්න කියලා. ඒ සිදුවීම අදාල නැති නිසා මම කිව්වා ඒ අයට වැරදිලා වෙන්න ඇති කියලා. ඒත් ඇය මට බල කළ නිසා මම එතැනට ගියා. ඔවුන් පුදුමයට පත්වෙලා මාව ඉතා උණුසුම් අන්දමින් පිළිගත්තා. පස්සෙ කිඳුරංගනා නාට්‍යයේ චරිතය ගැන මට කිව්වා. හිතකවත් තිබුණෙ නැති දෙයක් මම බාර ගන්නෙ කොහොමද මම ඒ ගැන කිව්වත් ඔවුන් කිව්වා රඟපාන්න ඕන නෑ මේ කොළේ බලන් නිකමට දෙබස් පේළි දෙකක් කියන්න කියලා. මම කිව්වා. එසැනින් එතැන හිටපු හැමෝම අත්පුඩි ගහලා විසිල්ගහල ඔයාව තමයි අපිට ඕන වෙලා තිබුණේ කියලා මාව බලෙන්ම සිලෙක්ට් කරගත්තා. ඒ නාට්‍යයට දෛවය කියන්නෙ අන්න ඒකට හිමිනම් ලැබෙනවා අහිමි නම් නොලැබෙනවා හරියට කිඳුරංගනා නාට්‍යයේ චරිතය වගේම අයදුම් කළ ගුවන් සේවිකා තනතුර වගේ.
එදා සිට මේ දක්වා රංගන දිවියේ ගත වු වසර 14 ක කාලය ගැන මොකද හිතෙන්නෙ...
නිරූපිකාවක් - රංගන ශිල්පිනියක් නිවේදිකාවක් වගේම ගායිකාවක් විදියට ක්ෂේත්රය තුළ යම් දෙයක් කළා නේද කියලා හිතෙනකොට මට මම ගැන නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවා. ඒත් කූඹියෝ ටෙලි නාට්‍යය නොඑන්න අදටත් මගේ කැපෑසිටි එක ගැන ගොඩදෙනෙක් දන්නෙ නෑ. ඒ තත්ත්වය කලින් ක්ෂේත්රය තුළ දැනුවත් වුණානම් මම මීට වඩා ඉදිරියට ගිහින්. ඒ ගැන පුංචි දුකක් තියෙනවා.
ඒත් අදටත් ඔබේ ජනප්‍රියත්වය තියෙන්නෙ නිර්මාණවලට වඩා සමාජ මාධ්‍ය තුළ නේද?
ඔව්. ඒකට හේතුවක් තියෙනවා. මම බොලිවුඞ්වලට යන්න හීන දැකපු කෙල්ලක් හැටියට මට ලැබෙන ජනප්‍රියත්වය ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ලෝකයාට පෙන්නන්න පුළුවන් වුණේ ඒ හරහා. ඔය කියන කාලෙ ප්‍රියංකා චොප්රට ෆෑන්ස්ලා 50000 ක් වෙද්දී මේ පුංචි යුරේනි නොෂිකට 20000 ක් විතර හිටියා ඒකම කොච්චර ලොකු දෙයක්ද? අදටත් මම ඔපරේට් වෙන්නෙ ඒ හයිය නිසා වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා ලැබුණ වටිනා කම් නිසා.
පෞද්ගලික දිවියක තොරතුරු සෝෂල් මීඩියාවලට බාරදීම සුදුසුයි කියලා ඔබ හිතනවද?
කොහෙත්ම නෑ. අද ඉන්න සමහර තරුණ තරුණියෝ ඒ ගැන කිසිම දැනුමක් නැතුව තම තමන්ගේ අතිෂය පෞද්ගලික දේවල් සෝෂල් මීඩියාවලට දාල ජීවිත විනාශ කරගන්නවා. මේ තත්ත්වයට දෙමවුපියන් 90% ක් වගකියන්න ඕන. මොකද ළමයෙකුට හොඳ නරක වෙන් කරල දෙන්න ඕනෙ නරක්වුණාට පස්සෙ නෙමෙයි පුංචි කාලෙ ඉඳල. ඩිජිටල් ලෝකෙට දරුවන් මුදාහරින්න ඕනෙ සීමා සහිතවයි.
ගෑනු ළමයෙක් වුණාම ඉවසීම වැඩියෙන් තියෙන්න ඕන. ඒත් යුරේනි නොෂිකා ප්‍රසිද්ධ සෝඩ බෝතලයක් වගේ කියලයි..
ඒක මම පිළිගන්නවා. හැම කෙනෙක් ළඟම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනෙ. හැබැයි මට ඉක්මනට කේන්ති යන්නෙ නිකම්ම නම් නෙමෙයි. අයුක්තිය අසාධාරණය වගේම අනවශ්‍යයි කියන දේවල් ඉදිරියේ එහෙම වුණත් විනාඩි 5 කට 10 කට වඩා මගේ හිතේ ඒව තියෙන්නෙ නෑ.
ඔබ තෝරාගන්නා. විලාසිතා වැඩිදෙනාගේ විවේචනයට ලක්වෙන හේතුවක් කතාබහට ලක්වෙන ආකාරයට ඔබ ඒවා තෝරා ගන්නවාද කියලා ඇහුවොත්...
ඒව ඉතින් මගේ ප්‍රශ්න නෙමෙයිනෙ අනේ. මගේ විලාසිතා ප්‍රශ්නයක් කරන්න අයගෙම ප්‍රශ්නනෙ. ඒත් මට මෙහෙම කියන්නම්. පුංචි කාලෙ ඉඳල මම කොටට අඳින්න කැමති ගෑනු ළමයෙක්. දිගට ඇන්දනම් ඒ ස්කූල් යුනිෆෝම් එක විතරයි. ඒකත් නොඇඳ බැරි නිසා. අදටත් මගේ ඒ පුරුද්දෙ ලොකු වෙනසක් වෙලා නෑ. අනික මම අඳින්නෙ පළඳින්නෙ මගේ සතුට වෙනුවෙන්. කාගෙවත් විවේචනවලට බයේ චරිත සහතික ගන්න හිතාගෙනඒ සතුට කැප කරන්න මම ලෑස්ති නෑ. අඳින පළඳින විදියෙන් මිනිස්සු මනින්නත් බෑ.
යුරේනි ලස්සනට පිළිවෙලට ඉන්න මොනවගේ දේවල් ද අනුගමනය කරන්නෙ.
ප්‍රධානම දේ තමයි පිරිසිදුකම. ඊළඟට අඳින ඇඳුමට මගේ බෑග් එක සෙරෙප්පු දෙක මැච් කරනවා. ජුවෙලරි පළඳින්නෙම නැති තරම්. විශේෂ අවස්ථාවකට ඇරෙන්න ලිප්ස්ටික් නියුටෙක්ස් පාවිච්චි කරන්නෙ නෑ. තවම ෆේෂල්වලට යන්න උවමනා වෙලත් නෑ. ඔන්න ඔය සාමාන්‍ය ක්‍රමය තමයි මම දැනට අනුගමනය කරන්නෙ. ඊර්ෂ්‍යාව කුහකකම නැතුව හිත පිරිසිදුව ජීවත් වෙද්දි ඕනම කෙනෙක් සුන්දර වෙනවා.
දැන් මේ හැඩකාර කටකාර යුරේනිට විවාහ වෙන්න කාලෙ හරිනේද
කාලේ හරිගියාට තවම කෙනෙක් හරි ගියේ නෑනෙ.
කෙනා හරියන්නෙ නැත්තෙ උදේට නැගිටිද්දී බ්‍රෙක්ෆස්ට්.. ෂූටින් ඉවර වෙලා එද්දී ඩිනර් රෙඩි කරන කෙනෙක් හොයපු නිසා වෙන්න බැරිද?
අනේ ඒක මම ඔය ජෝක් එකට කියපු කතාවක්නෙ. එහෙමයි කියලා නෑ. මාව බිරිඳ කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වෙලාව ආවම එයි. එදාට මගේ හිත කිව්වොත් මම ඔහු හා විවාහ වෙනවා. නැත්නම් මම මටම ආදරය කරමින් ජීවත් වෙනවා.
ධම්මික හේවාවසම් - දිවයින - නවලිය පුවත්පත