"මල්ලි මට වඩා අවුරුදු 8ක් බාලයි. මල්ලි ඉපදෙන්න ඉද්දි මම ටිකක් තේරෙන වයසෙ නිසා ඒ කාලේ ඉඳලම මම ආස වුණේ මල්ලියෙක්ටයි. ඒ කාලේ බුදුන් වඳිද්දිත් මම කියනවා මට මල්ලි කෙනෙක් දෙන්න කියලා. මල්ලි චූටි කාලේ සුදුම සුදු ලස්සන බෝල බබෙක්. මල්ලි ටික ටික ලොකු වෙද්දි අම්මා මට මල්ලිව බලාගන්න දෙනවා. මම එයාගේ පුංචි පුංචි වැඩ හරිම ආසාවෙන් කරනවා. "
දිලිනි මල්ලි ගැන මතකය එලෙස අවදි කරද්දී රවිඳුද ඒ මතක සිහි කළේ සෙනෙහසිනි.
"මට මතක ඇති දවසේ ඉඳන් අක්කයි මායි එකටමයි හිටියේ. අපි දෙන්නට එකට සෙල්ලම් කරන්න නම් කාලයක් තිබුණේ නැහැ. මගෙ සෙල්ලම් වයසෙදි අක්කා ඉස්කෝලෙ යන නිසා චූටි කාලේ මම සෙල්ලම් කළේ තනියමයි. හැබැයි අක්කා මාව බලාගන්නවා, වඩාගෙන හුරතල් කරනවා මට මතකයි. ටික ටික ලොකු වෙනකොට අපේ බැඳීම ගොඩක් වැඩි වුණා. කොහේ ගියත් මොනවා කළත් අපි දෙන්නා එකටමයි. අක්කා රඟපාන්න පටන් ගත්තට පස්සේ එයා ෂූටින් යද්දි මම තමයි එයාගේ තනියට හැමතැනම ගියේ. ඒ නිසාම හැමෝම මට කියන්නේ 'බොඩිගාඩ්' කියලයි. එහෙම බොඩිගාඩ් වැඩේ කරනවට මමත් අක්කට 'දඩ' දානවා. බොඩිගාඩ් වැඩේ වෙනුවෙන් ඒ ගමන්වලදි එයාට මට හොඳ කෑම වේලක් අරන් දෙන්න වෙනවා. "
ඔහු පැවසුවේ සිනහව අතරිනි. දිලිනි ලක්මාලි යනු මෙරට රංගන ශිල්පිනියන් අතර දිගුම වරලස හිමි යුවතියයි. සිය එකම සහෝදරිය රංගන ශිල්පිනියක වීම ගැන පිළිබඳ රවිඳු මෙසේ කීවේය.
"අක්කා පාසල් කාලෙත් නාට්‍යවල රඟපෑවා. නමුත් නිළියක් වෙයි කියලා හිතුවේ නැහැ. දෛවය විසින් අක්කා රංගනයට යොමු කළා. අක්කගේ දක්ෂතාව ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම අක්කා ගැන වැඩිපුරම සතුටු වෙන්නේ රංගන ශිල්පිනියක් වුණත් ජනප්‍රිය චරිතයක් වුණත් එයා ගොඩක් සරල, සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කැමති කෙනෙක් වීම ගැනයි. ඇය ඕනෑම කෙනෙක් එක්ක සුහදව කතාබහ කරන, නිහතමානී චරිතයක්. අක්කගේ ඒ ගතිගුණ ගැන මම ආඩම්බර වෙනවා. අක්කා ගොඩක් අහිංසක චරිතයක්. හැබැයි තරහ ගියාම නම් ගොඩක් නපුරුයි"
රවිඳුගේ කතාවට දිලිනි පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.
" මම නපුරුයි කිව්වට ඉඳලා හිටලා මල්ලිත් මාත් එක්ක රණ්ඩු වෙනවා. එහෙම රණ්ඩු වෙලා තරහ වුණාම මම තමයි ඉස්සෙල්ලම ගිහින් කතා කරලා එයාව යාළු කරගන්නෙ. මට මල්ලි එක්ක වැඩි වෙලාවක් තරහ වෙලා ඉන්න බෑ. ගෙදර ඉන්න කොට මල්ලි කෑම ජාති හදනවා. එයා හදන නූඩ්ල්ස්, ඩෙසර්ට් කන්න මම ගොඩක් ආසයි. මල්ලි ගොඩක් ආදරණීය කෙනෙක්. නිතරම ආදරය හොයන, පවුල ඇතුළෙම ඉන්න ගොඩක් කැමති කෙනෙක්. "
දිලිනිගේ හඬෙහි ඇත්තේ සහෝදර බව ඉක්මවා ගිය මවුවත් බවකි. ඒ අතර රවිඳු ඔවුන්ගේ බාල වියේ තවත් සොඳුරු මතක දිග හැරියේය.
"අක්කා ගෙම්බන්ට මාර බයයි. මම පොඩි කාලේ කළු පාට අඹ ඇටයක් සිලි කවරකෙට දාලා ගෙම්ඹෙක් කියලා අක්කගෙ පස්සෙන් පන්නනවා. අක්කා ගේ වටේම දුවනවා. සමහර වෙලාවට මම අක්කව තරහ අවුස්සන්නත් එහෙම කරනවා. ෂූටින්වලට පිට ගියාම අක්කට නවතින්න ලැබෙන කාමරේට ගියාම බාත්රූම් එකට ගිහින් ඒකෙ ගෙම්ඹො ඉන්නවද කියලා බලන එක තමයි මගේ මුල්ම රාජකාරිය. අක්කට නෑ කිව්වට මදි. ගෙම්ඹො නෑ කියලා ෆොටෝ එකක් ගහගෙන ඇවිත් පෙන්නන්නත් ඕන. "
"ගෙම්ඹො ගැන ඒ බය ඇතිවුණෙත් මල්ලිගේ දඟ වැඩ හින්දමයි." දිලිනි කීවේ නෝක්කාඩුවක් වුවත් එවදන්වල වූයේද මලණුවන් ගැන සෙනෙහසමය.
" මල්ලි චූටි කාලේ හරිම දඟයි. එක පාරක් පූසෙක්ව ළිඳටත් දැම්මා. අපි දෙන්නම රෙස්ලින්වලට හරි ආසයි. රෙස්ලින් ෆිල්ම් බලලා ඊටපස්සේ අපි දෙන්නා ඒවා ප්‍රැක්ටිස් කරනවා. දවසක් මල්ලි ඇඳ පත්ත උඩ නැඟලා මගෙ ඇඟට පැනපු පාර ඇඳ කඩාගෙන අපි දෙන්නත් ඇතුළට වැටුණා. එදා නම් අම්මගෙන් ගුටි කන්නත් වුණා. එදායින් පස්සේ අපේ රෙස්ලින් ප්‍රැක්ටිස් නතර වුණා."
ගහට පොත්ත මෙන් බැඳී සිටි මේ අක්ක - මලෝ දෙදෙනා දුරස් වන්නේ මීට දෙවසරකට පමණ පෙර රවිඳු සූපවේදියකු ලෙස ඩුබායි හි සේවයට පැමිණීම නිසාය.
"එදා නම් මට දරාගන්න බැරි තරම් දුකයි. ප්ලේන් එක ගුවන්ගත වෙද්දි මම හොඳටම ඇඬුවා. අක්කා නැති පාළුව දරාගන්න මට සෑහෙන දවසක් ගතවුණා. අක්කයි මමයි ඒ වෙන්වුණාමයි"
රවිඳු කීවේ හැඟීම්බරවය. ඒ හැඟීම දිලිනිටද එලෙසම දැනෙන්නට ඇත.
"ඒ සමුගැනීම ගොඩක් දුක්බරයි. ඒත් මල්ලි යන්නෙ එයාගේ අනාගතය වෙනුවෙන් නිසා මම අමාරුවෙන් හිත හදාගත්තා. රඟපාන්න කැමැත්තක් නැතිවුණාට මල්ලි මොඩ්ලින්වලට නම් ආසාවෙන් හිටියා. නමුත් මට අවශ්‍ය වුණේ මල්ලි වෘත්තීමය ක්ෂේත්‍රයකට යොමු කරන්නයි. මල්ලිගේ ජීවිතේ දියුණුව සාර්ථකත්වය තමයි මගේ එකම පැතුම. ඒ වගේම මේ බැඳීම ජීවිතේ පුරාම රැඳෙන්න කියලයි මම පතන්නෙ."
සුරේඛා ඉලංගකෝන්
සිළුමිණ - රසඳුන