කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලංකාවේ සෆාරි උද්‍යාන සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු යෙදී තිබිණි. මේ හේතුව නිසා සෆාරි උද්‍යානවල සේවකයන් හැරුණුකොට කිසිදු සංචාරකයකු දැකිය නොහැකිය. සංචාරකයන්ගේ නොපැමිණීම නිසා ඒවායේ ආදායමද නැතිවී ගොසිනි. රටේ පවතින අයහපත් තත්ත්වය හමුවේ සෆාරි උද්‍යාන ජන මනසින් අෑත් වෙමින් තිබෙද්දී පසුගියදා හදිසියේම හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානය ගැන කතාබහක් ඇති විය. ඒ එහි සිංහ කලාපයේ සිටි “ෂීනා” නමැති සිංහ ධේනුව පසුගිය 17 වැනිදා හා 18 වැනිදා සිංහ පැටවුන් තිදෙනකු බිහි කිරීම නිසාය.
පසුගිය 17 වැනිදා සවස 4.30ට පමණ “ෂීනා” පැටවුන් දෙදෙනකු බිහි කළ අතර 18 දින අලුයම් කාලයේදීද තවත් පැටවකු බිහි කර තිබේ. අප්‍රිකානු සිංහ ධේනුවක වන ෂීනා ලංකාවට පැමිණියේ මීට වසර හතකට පෙර 2013දී ජර්මනියෙනි. ලංකාවට පැමිණෙන විට දෙහැවිරිදි වියේ පසුවූ “ෂීනාට” අද වන විට වයස අවුරුදු නවයකි. මේ කාල පරාසය තුළ ඇය බිහි කළ පැටවුන් ගණන 07කි. මෙවර “ෂීනා” බිහි කළ පැටවුන් තිදෙනාගේ පියා “ෂූලා”ය. චීනයේ සිට ලංකාවට රැගෙන එන ලද “ෂූලා”ද ෂීනා මෙන්ම අප්‍රිකානු සිංහයෙකි.
මෙරට සිංහයන් පිළිබඳව පළමුවෙන්ම කතාබහට ලක් වූයේ රිදියගම සෆාරි උද්‍යානය ආරම්භ කිරීමටත් පෙර 2015 වසරේ අග භාගයේදීය. සෆාරි උද්‍යානයට මුදාහැරීම සඳහා සිංහයන් 08 දෙනකු රැගෙනවිත් කූඩු තුළ රඳවා තිබියදී අවුරුදු පහක් වයසැති අඩි පහහමාරක් තරම් දිගැති එක් කේසර සිංහයකු 2015.12.04 දින හදිසියේ මියගියේය. එලෙස මිය ගියේ සත්ත්වෝද්‍යාන සත්ත්ව හුවමාරුව වැඩසටහන යටතේ දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන්වන ලද “බොලී” නමැති කේසර සිංහයාය.
එදායින් පසු නැවතත් රිදියගම උද්‍යානයේ සිංහයන් පිළිබඳව කතා බහක් ඇති වූයේ 2016 දීය. ඒ සෆාරි උද්‍යානයේ සිටි, දකුණු කොරියාවෙන් මෙරටට රැගෙන එනු ලැබූ “සහරා” නමැති සිංහ ධේනුවට හා මහජන චීන සමූහ ආණ්ඩුවෙන් මෙරටට ලැබී තිබූ “ෂූලා“ නමැති සිංහයාටත් දාව සිංහ පැටවුන් දෙදෙනකු උපත ලැබීමත් සමඟය. “ෂූලාගේ“ ප්‍රථම පැටවාය. උපත සිදුවූ 2016.07.12 වැනි දින රිදියගම සෆාරි උද්යානයේදීය. මෙය රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවූ ප්‍රථම සිංහ උපත නිසා උද්‍යානයේ පශු වෛද්‍යවරුන් ඇතුළු පිරිස සිංහ ධේනුව පිළිබඳව දැඩි අවධානයකින් පසු වූ නමුත් ඉපදුණු සිංහ පැටවුන් දෙදෙනා ජීවත් කරවා ගැනීමට නොහැකි විය. ඒ සිංහ ධේනුව සිය පැටවුන්ට කිරි දීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.
ඉන් පසු රිදියගම දෙවැනි සිංහ උපත වූයේ 2017 දීය. ඒ “ෂීනා” නමැති සිංහ ධේනුවට හා “ෂූලා” නමැති සිංහයාට දාවය. එහිදී “ෂීනා“ පිරිමි පැටවුන් තිදෙනකු හා ගැහැනු පැටවකු ලෙස පැටවුන් සිවුදෙනකු බිහි කළාය. රිදියගම සෆාරි උද්‍යානයේ සිදු වූ පළමු සිංහ උපතේදී සිංහ ධේනුව පැටවුන් අතහැර දැමීම නිසා එම පැටවුන් දෙදෙනා ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ නිසා දෙවැනි සිංහ උපතේදීද එය එලෙස සිදුවිය හැකි බැවින් උද්‍යානයේ කාර්ය මණ්ඩලය “ෂීනා” පිළිබඳව දැඩි අවධානයකින් පසු විය. කෙසේ නමුත් “ෂීනා” “සහරාට” වඩා බොහෝ සෙයින් වෙනස් සිංහ ධේනුවක් විය. “ෂීනා” සිය පැටවුන් ප්‍රතික්ෂේප නොකර කිරි දී රැකවරණය ලබා දුන්නාය. අද එම පැටවුන්් තුන් හැවිරිදිය. උන් සිවුදෙනාගෙන් ගැහැනු පැටවා සහ පිරිමි පැටවුන් දෙදෙනකු මේ වන විටත් රිදියගම සෆාරි උද්‍යානයේ සිටිති. ඉන් “කූගර්” නමැති පිරිමි පැටවා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවට පරිත්‍යාග කෙරී ඇත. දැන් උෟ එහි සුරතලා ලෙස ඇති දැඩි වෙමින් සිටින බව රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්යක්ෂ කසුන් හේමන්ත සමරසේකර මහතා පැවසුවේය. එමෙන්ම “ෂීනාට” දාව උපන් ගැහැනු පැටවා වන “මීරා” මේ වන විට ගැබ්බරව සිටින බවත් ඉදිරි සති කිහිපය ඇතුළත ඇය පැටවුන් බිහි කිරීමට නියමිත බවත් “මීරාගෙ“ දරු උපතත් සමඟ “ෂීනා“ මිත්තණියක් බවටද පත්වෙනු ඇති බවත් සහකාර අධ්යක්ෂවරයා පැවැසුවේය. එමෙන්ම සෆාරි උද්‍යානයේ “ලාරා” නමැති සිංහ ධේනුවද මේ වන විට ගැබ්බරව සිටින බවත් ඇය ඉදිරි දින කිහිපය ඇතුළත පැටවුන් බිහි කිරීමට නියමිත බවත් ඔහු හෙළි කළේය.
රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ කලාපය තුළදී තුන් වන වරටත් සිංහ පැටවුන් බිහි වුණා. ඒ 2018 වර්ෂයේදී. එහිදී “සහරා” නමැති සිංහ ධේනුව නැවතත් පැටවුන් දෙදෙනකු බිහි කළා. පෙර පරිදිම මෙවරත් “සහරා” සිය පැටවුන් දෙදෙනාම අතහැර දැමුවා. එක් පැටවකු මියගියා. අනික් පැටවා පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ කිරි පොවා ඇතිදැඩි කෙරුණා.
එහෙම තියෙද්දී තමයි රිදියගම සෆාරි උද්‍යානයේ නැවතත් 2020.11.17 වැනි දින “ෂීනා” පැටවුන් තිදෙනක් බිහි කළේ. මෙය රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවුණු සිවු වැනි සිංහ දරු උපතයි. මේ වන විට පැටවුන් සියලුදෙනාම ඉතාමත් නිරෝගීව ඉන්නවා. “ෂීනා” තම පැටවුන් නියම විදිහට බලා ගන්නවා. කිරි දෙනවා.
ඒ නිසා අපි පශු වෛද්‍යවරුන් යොදවා මේ සතුන්ට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරන්නේ නෑ. අපි මේ පැටවුන්ට ළං වෙන්න උත්සාහ කළොත් සිංහ ධේනුව ඔවුන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ ෂීනා කලින් වතාවෙදිත් තමන්ගේ පැටවුන් හොඳින් රැක බලා ගත් නිසා මේ වතාවේ අපට බිය වන්න හේතුවක් නෑ. මේ වන විට සිංහ ධේනුව පැටවුන් සමඟ ඉතාමත් ආරක්ෂිත කලාපයකයි ඉන්නේ. මාස තුනකින් පමණ පසුවයි ඔවුන් සාමාන්‍ය සිංහ කලාපයට මුදා හැරෙන්නේ.
මේ සිංහ පැටවුන් උපදින වෙලාවෙ සෆාරි උද්‍යානය සංචාරකයන්ට වහලයි තිබුණේ. කොරෝනා දෙවැනි රැල්ලත් නිසා සෆාරි උද්‍යානය 2020.10.12 වැනි දින වසා දැමුණා. ඒ කෙසේ වෙතත් සුපුරුදු පරිදිම සත්ත්ව සුබසාධන කටයුතු කෙරෙනවා. දැනට සෆාරි උද්‍යානයේ සිටින සේවකයන් සේවා මුර ක්‍රමය යටතේයි සේවයට වාර්තා කරන්නේ. එක් කණ්ඩායමක කෙනකුට යම් ආසාදිත තත්ත්වයක් ඇති වුවොත් දෙවැනි කණ්ඩායම යොදාගන්න පුළුවනි. සහකාර අධ්යක්ෂ කසුන් හේමන්ත මහතා වැඩිදුරටත් පැවැසුවේය.
මෙවර උපන් සිංහ පැටවුන් තිදෙනාද සමඟ රිදියගම සෆාරි උද්‍යානයේ සිටින මුළු සිංහයන් ගණන 14ක් බවට පත් වෙයි. ඉන් හත්දෙනකුම රිදියගම සෆාරි උද්‍යානය තුළදීම උපත ලැබූවන් වීම විශේෂත්වයකි. සිංහ ධේනුවකගේ සාමාන්‍ය ගැබ්බර කාලය ලෙස දැක්වෙන්නේ මාස තුනක් හෝ තුනහමාරකි. වසරකදී දෙවතාවක් පැටවුන් බිහි කරන සිංහ ධේනුවක් වරකට සිංහ පැටවුන් තිදෙනකු හෝ සිවුදෙනකු බිහි කරයි.
රටේ පවතින අයහපත් වතාවරණය පහව ගිය පසු සෆාරි උද්‍යානය ජනතාවට විවෘත වනු ඇත. එවිට සංචාරකයන්ට මෙම සිංහ පැටවුන් තිදෙනාගේ මෙන්ම තවත් සිංහ පැටවුන් කිහිප දෙනකුගේම සුරතල් බැලීමට හැකිවනු ඇත.
සටහන හා ඡායාරූප -මත්තල - ඩී.එන්. ජයසේකර
මව්බිම