ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරියන් ලෙස ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඔවුන් දෙදෙනාට පියාසර නිල ලාංඡන පැලඳවීම ඉකුත් 16 වැනිදා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතින් සිදුවිය. ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් ඉකුත් 16 වැනිදා ත්‍රිකුණාමල චීනවරාය ගුවන් හමුදා කඳවුරේ පැවැති අභිමානවත් උත්සවයකදීය. පළමු ගුවන් නියමුවරියන් ලෙස මෙසේ අභිෂේක ලැබුවේ පවිත්‍රා ලක්ෂානි ගුණරත්න සහ රංගනා තත්සරණී වීරවර්ධනය.
පියාසර නිලධාරිනි රංගනා තත්සරණි සියලු සෙසු නිලයන් අභිභවා දක්ෂතම කැඩේට් නිලධාරියා හෝ නිලධාරිනියට හිමි රන් අසිපතින්ද පිදුම් ලැබුවාය. ඒ නිසා ඇයට තවත් භාරධුර කර්තව්‍යයක් පැවරී තිබිණි. ඒ ජනාධිපති වර්ණ ධජවලින් සමන්විත විසිර යෑමේ පෙළපාළියට අණදීමය. ඒ අනුව මෙවන් විසිර යෑමේ පෙළපාළියක් සඳහා කාන්තා නිලධාරිනියක් අණදුන් ප්‍රථම අවස්ථාව ලෙසද එය ගුවන් හමුදා ඉතිහාසයට එක්වනු ඇත.
කැඩෙට් නිලධාරිනියක සේ ගුවන් හමුදාවට එක්ව ගුවන් නියමුවරියක ලෙස ගුවන් හමුදා රාජකාරියට පිවිසීම එතරම් ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. ඒ සඳහා දැඩි කැපවීමක් අධිෂ්ඨානයක් හා ඉවසීමක් තිබිය යුතුය. පුහුණුව, තාක්ෂණය හා ක්ෂේත්‍ර ශිල්ප ආදිය ප්‍රගුණ කරමින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම නිලධාරිනියෝ දෙදෙනා ඒ සියලු අභියෝග ජය ගැනීමට සමත් වූහ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරා ගැනුණු ශිෂ්‍යභට කාන්තා නිලධාරීහු නව දෙනෙක් 2017 ජූලි මස 24 වැනි දින අංක 113 වැනි කාන්තා කැඩෙට් නිලධාරි පාඨමාලාව හැදෑරීම සඳහා දියතලාව සටන් පුහුණු පාසල වෙත පැමිණියහ. මොවුන්ට මුලින්ම පැවරී තිබුණේ ගොඩබිම් සටන් පුහුණුව ඉගෙන ගැනීමටය. සති 21ක් ඇතුළත අභියෝගාත්මක සටන් පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ මේ කැඩෙට් නිලධාරිනියන් ඉන් අනතුරුව මූලික රාජකාරී අංශයක් වන නියමු පොදු රාජකාරි, ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරු, සැපයුම් සහ පරිපාලන යන අංශ සඳහා අනුයුක්ත කොට ඊට අදාළ පුහුණුව ලබාදීමට ගුවන් හමුදාව පියවර ගත්තේය. මෙම නිලධාරිනියෝ ඉංගී්රසි භාෂා අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණ ඇතුළු මූලික පරිපාලන පාඨමාලා අධ්‍යයන කටයුතු චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ ගොඩබිම් පුහුණු පක්ෂාංශයේදී සාර්ථකව සම්පූර්ණ කළහ.
සාර්ථකව එම පුහුණු පාඨමාලා අවසන් කිරීමෙන් පසු BSC (ගුවන් අධ්‍යයන) උපාධි පාඨමාලාවේ අත්‍යවශ්‍යම අංගය ලෙස සැලකෙන ආකෘති අධ්‍යයන සාර්ථකව නිම කිරීමටද මේ කාන්තා නිලධාරිනියන්ට හැකියාව ලැබිණි.
ඉන්පසු මෙම නිලධාරිනියන් ඔවුන්ගේ විශේෂිත ක්ෂේත්රයන් වන පියාසර, ඉන්ජිනේරු, පරිපාලන, ගොඩබිම් සටන් පුහුණු සහ සැපයුම් යන අංශයන් පිළිබඳ පුහුණු පාඨමාලා වෙත යොමු කෙරිණි.
සාමාන්‍ය පොදු නියමු රාජකාරි අංශයේ කැඩෙට් නිලධාරිනියන් ඔවුන්ගේ විශේෂිත පුහුණුව සඳහා අංක 1 පියාසර පුහුණු පක්ෂාංශය වෙත වාර්තා කළේ ඉන් අනතුරුවය.
ඒ සඳහා කැඩෙට් නිලධාරි රංගනා මෙන්ම ලක්ෂාණි ද එක්වී සිටියේය. සිය මූලික පියාසර පුහුණුව 2018 ජුනි 29 වැනිදා සිට 2019 ජුනි 16 දක්වා වසරක කාලයක් තුළ ඉන්දියාවේ හයිද්‍රාබාද් ඉන්දියානු ගුවන් හමුදා ඇකඩමියේදී ලැබීමට මොවුන්ට ඉඩ ප්‍රස්ථාව ලැබිණි.
ඒ සඳහා පිලට්ස් පී.සී.7 (Pilatus Pc 7 M K II aircraft) එම්.කේ.අයි.අයි. යානයෙන් පුහුණුව ලැබීමට ඔවුන්ට අවකාශ සැලසිණි. මෙම පිලට්ස් පී.සී. 7 ටර්බෝ යානා ස්විස්ටර්ලන්තයේ් පිලට්ස් ගුවන් යානා කර්මාන්ත ශාලාව මඟින් නිර්මාණය කරන ලද, ගුවන් නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා යොදා ගනු ලබන යානා විශේෂයකි.
මෙම යානය මඟින් ආසන පුහුණුව, ගුවන් යානා උපකරණ, උපායශීලිත්වය සහ රාත්‍රි පියාසර කිරීම ඇතුළු සියලු මූලික පුහුණු කටයුතු සිදු කෙරෙයි.
වසරක පුහුණුව නිම කිරීමෙන් පසු රත්මලාන ගුවන් හමුදා අංක 8 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බළගණයේ වයි 12 ගුවන් යානාවක් සාර්ථකව පියාසර කරවමින් උසස් පියාසර පුහුණුව සම්පූර්ණ කළ මෙම නියමුවරියන් දෙදෙනා බළගණයේ මෙහෙයුම් නියමුවන් ලෙස සුදුසුකම් ලැබීමට අවශ්‍ය පියාසර පැයද සාර්ථකව නිම කිරීමට සමත් වූහ.
රංගනා තත්සරණී වීරවර්ධන සහ පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න යන කාන්තා කැඩෙට් නිලධාරිනියන් දෙදෙනා මෙම පුහුණු කාලය තුළ දැක්වූ දැඩි උත්සාහය, මෙන්ම දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා දැක්වූ කැපවීම ගුවන් හමුදාපතිවරයාගේත් අදාළ බලධාරින්ගේත් පැසසුමට ලක්වූවකි.
ඔවුනට අභ්‍යාස පුහුණුව, ආයුධ පුහුණුව, ක්ෂේත්‍ර ශිල්පී යුද උපක්‍රම, ගුවන් හමුදා නීතිය සහ ගුවන් හමුදා මූලික පරිපාලනය පිළිබඳ පුහුණුව ලබාදී තිබුණු අතර ප්‍රථමාධාර, පුපුරණ ද්‍රව්‍ය, කැලෑ සටන් පුහුණුව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියකු වීමට අවශ්‍ය ගුණාංග පිළිබඳවද නිසි පුහුණුවක්ද ලබාදී තිබිණි.
ගුවන් පවුලක උපන් රංගනා තත්සරණි වීරවර්ධන මෙලෙස සාර්ථකව පුහුණු පාඨමාලා නිමකොට ආරක්ෂක ලේකම්වරයා අතින් ප්‍රථම ගුවන් නියමුවරියක් වීමේ භාග්‍ය ලැබූ පියාසර නිලධාරිනියකි.
කලක් ගුවන් හමුදාවේ සේවය කළ රංගනාගේ මවුපියන් වන හරිශ්චන්ද්‍ර වීරවර්ධන මහතාත් චිත්‍රා අයිරාංගනී මහත්මියත් ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලැබුවෝ වෙති. ඔවුන් විශ්‍රාම ගියේ සිය දියණියන් දෙදෙනාම ගුවන් හමුදා සේවයට එක්කරමිනි. රංගනා තත්සරණී මෙන්ම ඇගේ නැඟණිය ගුවන් කාන්තා කෝප්රල් අයේෂා වීරවර්ධනද මේ වනවිටත් ගුවන් හමුදාව වෙනුවෙන් සිය ජීවිතය කැපකර සිටිති. රටට වැඩදායි මෙවන් දරුවන් ලොවට බිහිකර ඔවුන් හැදූවැඩූ මවුපියෝද වාසනාවන්තයෝ වෙති. අද දරුවන්ගේ හැකියාවන් දෙස ඔවුන් බලාසිටින්නේ සතුටිනි. -
1997 දෙසැම්බර් මස 4 වැනිදා උපන් රංගනා තත්සරණි අම්පාර ක්ලොරා පෙර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගම්පහ ශ්‍රී බෝධි මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 169ක් ලබාගෙන අ.පො.ස. (සා.පෙළ) හැදෑරීම සඳහා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූවාය. පසුව අ.පො.ස. (සා.පෙළ) විශිෂ්ට සම්මාන 8ක් සමඟින් සමත් වූ ඇය උසස් පෙළ විභාගය සඳහා ගම්පහ රත්නාවලි බාලිකා විදුහල තෝරා ගත්තාය. ඇය එහිදී අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් සම්මාන 3ක් හිමිකර ගත්තාය.
පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී පවා ඇය ක්‍රීඩාවට දක්ෂකම් දැක්වූවාය. වායු රයිෆල හා වායු පිස්තෝල පුහුණුව ලබමින් සමස්ත ලංකා වායු රයිෆල අනුශූරතාව 2013 දී තමන් අධ්‍යාපනය ලැබූ බණ්ඩාරනායක මධ්‍ය මහ විද්‍යාලයට ලබාදීමට ඇය ඇප කැප වූවාය. පසුකාලීනව වායු රයිෆල හා වායු පිස්තෝල සංසදයේ සාමාජිකාවක් වීමටද ඇයට හැකි විය.
උසස් අධ්‍යාපනය ලබමින් සිටි සමයේදී ඇගේ එකම බලාපොරොත්තුව වූයේ වෛද්‍ය වෘත්තියට පිවිසීමය. එහෙත් මවුපියෝ ගුවන් හමුදාවේ සේවය කිරීම නිසා ඊට එක්වීමටද ඇගේ යටි සිතේ ආශාවක් තිබිණි. ගුවන් නියමුවරියන් ගුවන් හමුදාවට බඳවාගන්නා බවට පළවූ දැන්වීමක් දැක ඇය ඊට අයදුම්පත්‍රයක් යොමු කළේ ඔය අතරය.
තිස් වසරක කුරිරු යුද්ධය ජයගැනීම සඳහා ගුවන් හමුදාව කළ කාර්යභාරය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පළ වූ වාර්තා ඇසීමෙන් හා දැකීමෙන් ගුවන් හමුදාවට එක්වීමට තිබූ ඇගේ ආශාව වර්ධනය විය.
ඒ අනුව 2017 ජූලි මස 24 වැනිදා ඇය ගුවන් හමුදා සේවයට එක්වීමට වරම් ලැබුවාය.
“පළමුවෙනි හය මාසේ අපට තිබුණේ ගොඩබිම පුහුණුව ලබන්නයි. දියතලාව සටන් පුහුණු පාසලේ තමයි ඒ පුහුණුව ලැබුවේ. තවත් හය මාසයක් අංක 1 පියාසර පුහුණු පක්ෂාංශයේදී න්‍යායික අධ්‍යාපනය ලැබුවා. පස්සේ ගුවන් හමුදා විද්‍යා පීඨයේත්, ඉන්දියාවේ හයිද්රාබාද්වලත් අවුරුද්දක කාලයක් න්‍යායික දැනුම හා ප්‍රායෝගික පියාසර පුහුණුව ලැබුවා. ඉන් පස්සේ තවත් අවුරුද්දක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන අංක 8 සැහැල්ලු ප්‍රවාහන බළගණයේදී උසස් ප්‍රායෝගික පුහුණුව ලැබුවා.”
ඇය සිය පුහුණු කාලය ගත කළ ආකාරය එසේ සඳහන් කරන්නීය. 2018.05.05 දින මුල්ම ගුවන් යානා පුහුණුව ලැබූ ඇය ඒ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නකි.
“ මුල් කාලයේ ටිකක් බය හිතුණා. ඒත් පුහුණුව ලබද්දී ඒක නැති වුණා”
වසර තුනක කාලයක් මෙසේ පුහුණු පාඨමාලා හදාරමින් ඒවා සාර්ථක නිමකොට පසුගියදා ආරක්ෂක ලේකම්වරයා අතින් පියාසර නිල ලාංඡන පැලඳිදා ඇය ලැබුවේ මහත් සතුටකි.
“මට පුදුම සතුටක් ඇතිවුණා. අම්මයි තාත්තාවයි මතකයට ආවා” ඇය නිහතමානීව පවසන්නීය.
අනාගතයේදී ගුවන් නියමුවරියක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් තමාට පැවරෙන රාජකාරි හා යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීම තම එකම අභිලාෂය බව ඇය කියන්නීය. විශේෂයෙන් තම මව, පියා, සහෝදර, සහෝදරියන් හා සිප්සතර කියා දුන් ගුරු භවතුන්, පාසල් මෙන්ම සියලු පුහුණු ගුවන් උපදේශකවරුන්ද ඇය සිහිපත් කරන්නීය.
රංගනා තත්සරණී වීරවර්ධන සමඟ පළමු ගුවන් නියමුවරියක් ලෙස අභිෂේක ලැබූ පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න තවමත් විසිහර හැවිරිදි පියාසර නිලධාරිනියකි.
මහනුවර පදිංචි එස්.ඒ.ආර්. ගුණරත්න ඇගේ පියාය. පී.එන්.කේ. දසනායක ඇගේ මවය. ඇගේ නැගනිය තවම පාසල් යන්නීය. මහනුවර හිල්වුඩ් විදුහලේ මූලික අධ්‍යාපනය ලැබූ ඇය පසුව මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවාය. නෙට්බෝල් ක්‍රීඩාවට මෙන්ම මලල ක්‍රීඩාවටද දක්ෂතා පෙන්වූ ඇය පාසල් ශිෂ්‍ය නායිකාවක් ලෙසද කටයුතු කළාය.
“මට ඇත්තටම හමුදාවට බැඳෙන්න ආශාවක් තිබුණා. ගුවන් හමුදාවට ප්‍රථම වතාවට කාන්තා ගුවන් නියමුවරියන් බඳවා ගන්නා බව දැනගන්නට ලැබුණා. ඒ නිසා ඒකට මම අයදුම්පත්‍රයක් යොමු කළා. මට ගුවන් නියමුවරියක් වෙන්න ආශාවක් තිබුණා” ඇය කියන්නීය.
කැඩෙට් නිලධාරිනියන් තිදෙනකු සමඟ ගුවන් නියමු පාඨමාලාව හැදෑරූ ඇය මූලික පියාසර පුහුණු පාඨමාලාව අංක 01 පුහුණු පක්ෂාංශයේදීත් උසස් පියාසර පුහුණු පාඨමාලාව අංක 8 බළගණයේ දීත් හැදෑරුවාය. මාස හයක කාලයක් මූලික පියාසර පුහුණුවද, තවත් මාස හයක කාලයක් පුහුණුවීම් කටයුතු කළ ඇය පළමුවරට ගුවන් යානාවකින් පුහුණුවීම් කළ 2018 මැයි මස 6 වැනිදා සිය ජීවිතයේ අමතක නොවන දිනය බවද කීවාය. එදින තමාගේ හිතට කිසියම් බියක් දැනුණත් පසුව ඒ බිය නැති වී ගිය බවද ඇය කීවාය. රංගනා තත්සරණී වීරවර්ධන සමඟ ඇයද ඉකුත් 16 වැනිදා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම ගුවන් නියමුවරියන්් හැටියට පියාසර නිල ලාංඡන හිමිකර ගත්තාය.
“මට එදා දැනුණේ පුදුම සතුටක්. මහන්සියක ප්‍රතිඵලයක් විධියටයි ඒ සතුට මට දැනුණේ. ඒ වගේම ප්‍රථම ගුවන් නියමුවරියන් දෙදෙනාගෙන් එක්කෙනකු වීම ගැන ආඩම්බරයක් දැනුණා.
ඒ මොහොතේ මගේ සිහියට ආවේ මගේ ආදරණීය මවුපියොයි. ඒ වගේම මගේ නැගණිය ඒ වගේම පාසලේදී ගුරුහරුකම් ලබාදුන් ගුරුවරුන් ඒ වගේම යාළුවෝ.
අපි සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් හැටියට තමයි රාජකාරි අරඹන්නේ. සැහැල්ලු ගුවන්යානා පැදවීම ගැනත් මම සතුටට පත්වෙනවා” ඇය කියන්නීය.
මවුපියන්, ඥාතීන්, ගුරුවරුන්, යහළුවන් මෙන්ම සියලුම ගුවන් පුහුණු උපදේශකයන්ට සිය ගෞරවය පුදකරන ඇය ගුවන් හමුදා සේවා කාලය තුළ උපරිම සේවාවක් ලබාදීමටත් තම නිපුණත්වය වර්ධනය කර ගැනීමටත් කටයුතු කරන බවද කීවාය.
ප්‍රථම කාන්තා ගුවන් යානා නියමුවරියන් ගුවන් හමුදාවට එක්වීමට අමතරව තවත් සුවිශේෂී අංග රැසක්ද එදින ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨ කඳවුරේදී පැවැත්විණි.
“සුරකිමු ලකඹර” තම උද්ධෘත පාඨය කර ගනිමින් ශ්‍රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කාර්යයට උරදීම සඳහා සාමාජිකයකු සාමාජිකාවක ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට අංක 61 එක්වන කෙඩෙට් නිලධාරි පාඨමාලාව හා අංක 13 කැඩෙට් නිලධාරිනි පාඨමාලාව අංක 33 හා 34 කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කෙඩෙට් නිලධාරි පාඨමාලාව හැදෑරූ නිලධාරි නිලධාරිනියන් අධිකාරියට පත්කිරීමද මෙදින සිදුකෙරිණි.
ඒ අනුව කෙඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් 53 දෙනකු අධිකාරියට පත්කරනු ලැබූ අතර පියාසර කෙඩෙට් නිලධාරි පාඨමාලාවේ කෙඩෙට් නිලධාරිනියන් දෙදෙනාට අමතරව තවත් කෙඩෙට් නිලධාරි 10 දෙනකුටද පියාසර නිල ලාංඡන පැලඳවීමද එදින සිදුවිය.
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සේවා කාලය තුළ ගුවන් හමුදා ඉතිහාසය වර්ණවත් කළ සිදුවීම් රැසක් මධ්‍යයේ විසිර යෑම උළෙල පැවැත්වීම විශේෂත්වයක් විය. ප්‍රහාරක ජෙට් යානා අණදෙන්නා ලෙස ක්‍රියාකරමින් වැඩිම වීර පදක්කම් රැසක් දිනාගෙන ගුවන් හමුදා ඉතිහාසයේ අමරණීය සටහන් තැබූ වත්මන් ගුවන් හමුදාපතිවරයාගේ නායකත්වය යටතේ මෙවන් අභිමානවත් විසිරයෑමේ උළෙලක් පැවැත්වීම පැමිණ සිටි සෑම දෙනාගේම සතුටට හේතු විය.
නොවැම්බර් මස 16 වැනිදා පැවැති මෙම විසිර යෑමේ උළෙලෙන් පසු තම නව සේවා ජීවිතය සාර්ථක කර ගැනීමට අධිකාරියට හා පියාසර නිලයට පත්වූ සෑම නිලධාරියකු හා නිලධාරිනියකටම හැකිවන අතර පුරා වසර තුනක පුහුණු කාලය තුළ ලබාගත් සියලු දැනුම තමන්ගේ වෘත්තියේ අඩිතාලම කරගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් අපගේ ආදරණීය මවුබිමටත් උදාර සේවයක් කිරීමට නව ගුවන් නියමුවරියන් දෙදෙනාට හැකිවේවා යන්න අප කාගේත් පැතුමය.
ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ලිපිය සැකසීමට දුන් විශේෂ සහාය අගය කොට සලකමි.
කීර්ති මෙන්ඩිස්
මව්බිම