රුපියල් ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ සහ මුදලින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සැලසුම් සහගත ලෙස සොරකම් කළ 19 හැවිරිදි තරුණයකු ගන්දර පොලිස් වසමෙහි දෙල්ගල්ල ප්‍රදේශයේ දී ඉකුත් 17 දා අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පැවසීය.
ගන්දර පොලිස් වසමේ දෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශයන්හි රාත්‍රි කාලයේ නිවාස කිහිපයක සහ වෙළෙඳසල් කිහිපයකම සොරකම් සිදුව ඇති බවට අවස්ථා කිහිපයකදීම ගන්දර පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි. රාත්‍රී කාලයේ වෙළෙඳ සල්හි උළු ඉවත් කර එම වෙළෙඳ සල්වලට ඇතුළු වී සුවඳ විලවුන්, දුම්වැටි සහ මුදල්ද, නිවාසයන්හි ජනේල ගළවා නිවෙස් තුළට ඇතුළු වී රන් ආභරණ සහ මුදල්ද සොරකම් කර ඇත.
මාතර කොට්ඨාස පොලිස් නිල සුනඛ අංශයේ (1340) ‘‘ඔස්කා” නමැති පොලිස් නිල සුනඛයාගේද සහාය ලබා ගනිමින් වෙළෙඳ සලක් අසල දමාගිය පාවහන් යුගලය නිල සුනඛයා වෙත ලබා දීමෙන් අනතුරුව සුනඛයා විසින් සැකකරු සොයා කිලෝමීටර් පහක පමණක් දුරක් ගෙවා දෙල්ගල්ල ප්‍රදේශයේම පිහිටි සැකකරුගේ නිවස වෙත පැමිණ සැකකරු හඳුනා ගැනීමට සහාය දී තිබේ.
පොලිස් නිලධාරීහු ඒ අස්ථාවේම සැකකරු සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තමා විසින් සිදුකළ සියලූ සොරකම් පිළිබඳව 19 හැවිරිදි තරුණයා සියලූ තොරතුරු හෙළිකර ඇත.
19 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු ලෙස සිදුකළ විමර්ශනයන්හි දී හඳුනාගත් බව පොලිසිය පවසයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. සොරකම් කරන ලද භාණ්ඩ සහ මුදල්වලින් කොටසක් සොයා ගත් බව පොලිසිය පැවසීය.
ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ආර්. එම්. කපිල බණ්ඩාර මහතාගේ මෙහෙය වීමෙන් උ.පො.ප. වරුන් වන චතුරංග, ගාමිණී සේනානයක, පො.සැ. වරුන් වන (46183) ඒකනායක, (38712) දිලිප්, පො.කො (89452) අබේසේකර, කොට්ඨාස පොලිස් නිල සුනඛ අංශයේ පො.කො (86366) සම්පත් යන නිලධාරීහු සහ (1340) ඔස්කා පොලිස් නිල සුනඛයාද මෙම වැටලීමට එක්ව සිටියහ.
දිවයින