තමන් කරන දේ වෙනුවෙන් යොදනු ලබන කැපවීම මහන්සිය ගෞරවය සහ එයට දක්වන ආදරය තමයි මේ විදිහට ගමනක් එන්න මට උපකාරී වුණේ. කොහොමත් මම මුල සිටම ඒ වෙනුවෙන් දක්වන දායකත්වය කිසි විටෙක අඩු කිරීමක් කළේ නැහැ. ඒ නිසා තමයි මට අදත් පැවැත්මක් තියෙන්නේ.
ඇයි අලූත් පරම්පරාවට ඔබ කියන පැවැත්ම.. පවත්වාගෙන යන්න බැරි..
කීප දෙනෙක් ගීත කලාවට සැබෑ ආදරයෙන් සහ ගෞරවයෙන් ගමනක් යමින් පවතිනවා. නමුත් බහුතරයක් සිතන්නේ ආර්ථික පැත්ත සහ ක්ෂණික ජනප්‍රියත්වය පිළිබදව. ස්ථාවරත්වය ගැන හිතනවා අඩුයි. ඒකම තමයි ඔවුන්ගේ පැවැත්මට බලපාලා තියෙන්නේ. අද ජනප්‍රියත්වය කරා යන්න ඕනෑ තරම් ක්‍රම තියනවා. නමුත් ගීත කලාව ඇතුළේ පවතින ක්‍රමයක් තමයි බහුතරයකට නැත්තේ. මම කවදාවත් මුදල් යාන වාහන සහ ජනප්‍රියත්වය කියන දේ මුල්කර ගනිමින් වැඩ කළේ නැහැ. ඒ හැම දෙයක්ම මට ලැබුණේ ඉබේම. එහෙම වුණේ පවතින යමක් කළ නිසා. මට අවශ්‍යව තිබුණේ දක්ෂ ගායිකාවක් වීම. මම කැප වුණේ ඒ දේ වෙනුවෙන්. මම හිතනවා මේ ප්‍රතිඵලය එහි අග්‍රඵලය කියලා. ඒ වගේම මට වාසනාවත් තිබුණා මෙතනට පැමිණෙන්න.
අද තිබෙන නී රස ගී පද රචනා ගායන ශිල්පියකුගේ පැවැත්මට කරනු ලබන බලපෑම කුමනාකාරදැයි මා විමසුවොත්....
මම හිතනවා අපේ ගී පද රචනා මේ තරම් අවුල් ස්වභාවයක් ගත්තේ 2000න් පස්සේ කියලා. බලන්න එදා මිල්ටන් මල්ලවාරච්චි මිල්ටන් පෙරේරා වගේ අපේ පැරණි පරපුර ගැයූ ගීත දිහා. ඒවා සරලයි. නමුත් අද වගේ ළද බොළඳ නැහැ. අර්ථ රසයත් කදිමට තිබුණා. දැන් තියන ගී නිර්මාණවලට ඇත්තටම වෙලා තියන දේ හරි පුදුමයි. මෙහෙමනේ.. වචන දැන ගත්තට ගීත ලියන්න බැහැ. ඒකට සාහිත්‍ය රසයකුත් එකතුවෙන්න ඕනෑ. අන්න ඒ නිසා තමයි අද ලියැවෙන බහුතරයක් ගීතවල අර්ථ රසයක් නැත්තේ. සුළුතරයක යම් ගුණාත්මක පැත්තක් දැකිය හැකිව තිබෙනවා. හුඟක් වෙලාවට මෙහෙම වෙන්නේ මුදල් ගෙවලා රැල්ලට යන ගීත හදලා ජනප්‍රිය වෙන්න හදන පිරිසක් නිසා. මේකෙන් වෙන්නේ ගී පද රචනා බාල තැනකට වැටීම. අවංකවම කීවොත් දැන් හැදෙන ගීත මටවත් රසවිඳින්න බැහැ. හුඟක් ගීත හදන්නේ සමාජ මාධ්‍ය මුල් කරගෙන. අපේ කතා කරන භාෂාව පොහොසත් වුණාට බොහොමයක් ගීත ලියැවෙන්නේ භාෂාව දුප්පත් තැනකට දාලා. ඒකයි මම කියන්නේ දැන් අපේ රටේ ගීත ජාති දෙකයි කියලා. එකක් පොහොසත් ගීත. අනික දුප්පත් ගීත. ඒ වගේම අද ගීතයක් හදාගන්නත් විශාල මුදලක් වැය කළ යුතු වෙනවා. මටත් දැන් ගීතයක් හදන්න ලක්ෂ දෙකහමාරක් විතර යනවා. හැබැයි ඒ රූප රචනයක් නැතිව.
ඔබ මේ දක්වා පැමිණි ගමන ගැන කොහොමද හිතන්නේ...
මම මේ වන විට විවිධාකාරයේ ගීත දහසකට වැඩිය ගායනා කර තිබෙනවා. ඒ වගේම කිසිදු සැකයකින් තොරව මගේ ගමන ගැන මම උපරිම තෘප්තිමත් කියලා කියන්න පුළුවන්. හැබැයි මම මේ ගමන ආවේ ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන්. ඒ නිසා මගේ ස්ථාවරය පිළිබඳව බයකුත් නැහැ. ඒ වගේම යම් තැනක දී මට මෙතන දමා යන්න වුණොත් මම ඒකටත් සූදානම්.
මේ පවතින වසංගත තත්ත්වය සමග ජීවත් වීම ඔබලාගේ ජීවිතවලට ඇති කර තිබෙන බලපෑම කුමණාකාරද....
ඇත්තම කීවොත් මේ පවතින තත්ත්වය ගීත කලාවට පමණක් නෙවී සකළ කලාවටම බලපා තිබෙනවා. කලාව කියන්නේ කර්මාන්තයක්නෙ. ඉතිං හරියට බැලූවොත් දැන් වසර දෙකක සිට එය බිඳවැටිලා තමයි තිබෙන්නේ. අපේ රටේ කොහොමටත් කලාවට දිය යුතු තැන ලබා දීලා නෑනේ. කලාකාරයා අත්‍යවශය පුද්ගලයකු ලෙස සමාජ පිළිගැනීමකට ලක් කර නැහැ. ඒ නොසලකා හැරීම තුළ මෙවැනි ව්‍යසන තත්ත්වයක දී ඔවුන් තවත් අසරණයි.
ඔබට අලූත් ගී නිර්මාණ වෙනුවෙන් යොමුවීමට අවස්ථාවක් තිබුණද...
මම ගීත නිර්මාණ කිහිපයක් අලූතින් කරලා තියනවා. රූප රචනා එකතු කළ යුතුයි. කොහොමටත් දැන් ගුවන් විදුලිය මුල් කරගෙන ගීත හැදෙන්නේ නෑනේ. අද ගීත ප්රචාරයට මාධ්‍ය ගොඩක් තියනවා. හැබැයි මේ වෙලාවේ මිනිස්සු බලන්නේ පිගාන දිහා. ඒ නිසාම අපි ඉවසීමෙන් හිතාමතා ඉදිරි වැඩ කළ යුතුව තිබෙනවා. මේ රට එන්න එන්නම අසරණව ගරාවැටෙන තත්ත්වයකට පත්ව තිබෙනවා. ඉදිරිය පැහැදිළි නැහැ. මුළු සමාජ ක්රමයම ආත්මාර්ථකාමී වෙලා. ඉතිං තමන් ගැන විතරක් හිතන ජාතියකට සතුටින් ගීත ගයන්නේ කොහොමද.
සුජීව තත්සර
දිවයින