මොරටුව ප්‍රදේශයේ සිදුකල PCR පරීක්ෂණවලට අනුව 42 දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ඊයේ දිනයේ වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පියවර ගත් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
අද උදෑසන හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහට එක්වෙමින් හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් සොයා කළ PCR පරීක්ෂණවලට අනුවයි එම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ.
කෙසේ වෙතත් පානදුර ප්‍රදේශයෙන් ආසාදිතයන් වාර්තා නොවුනද එම ප්‍රදේශයට වෛරසය පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් පානදුර උතුර සහ දකුණ පොලිස් බලප්‍රදේශවලට ද ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
එසේම සුළු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුවද හෝමාගම ප්‍රදේශයේ ජන ඝනත්වය සහ ඉන් විවිධ ප්‍රදේශවලට ආසාදිතයන් පැතිර යාමේ අවදානම සලකා බලා මෙලෙස ඊයේ රාත්‍රියේ සිට ඇඳිරි නීතිය පැනවීමට ක්‍රියා කළ බවයි හමුදාපතිවරයා සඳහන් කරන්නේ.
මේ අතර ඊයේ දිනයේ බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයන් 20 ක්, කොටහේන ප්‍රදේශයෙන් 44 දෙනෙක්, මට්ටකුලියෙන් 36ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.
යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ ඇතැම් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේද ආසාදිතයන් වාර්තාවීමට හේතුව එම ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස පුද්ගල සංචරණයන් සිදුවීම බවයි.
කොළඹ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල තවදුරටත් මෙලෙස ආසාදිතයන් වාර්තාවීම අවදානම් තත්වයක් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව සෞඛ්‍ය අංශ ඇතුළු සියලුම පාර්ශවයන් හි උපදෙස් සහ ඉදිරියේ සිදුකෙරෙන සාකච්ඡා මධ්‍යයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි යුද හමුදාපති සඳහන් කරන්නේ.
එසේම ඇඳිරි නීතිය පනවා නොතිබුණද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණුකොට දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
එසේම දැඩි අධීක්ෂණය යටතේ පැවති ඇතැම් ප්‍රදේශවල රෝගීන් වාර්තා නොවීම අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කිරීමට හැකියාවක් පවතින බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව කොරෝනා ආසාදිතයන් වාර්තානොවන වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත්කිරීමට අවශ්‍ය කරුණු අධීක්ෂණය කරමින් සිටින බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.