සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා පසුගිය කාලයේ බන්ධනාගාරය තුළ ද ගතකොට ඇත්තේ සුපිරි ජීවිතයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් රැඳවුම් නියෝග මත ඔහු රැගෙන යෑම සඳහා බූස්ස බන්ධනාගාරයට ගිය අවස්ථාවේ කිලෝ 05 ක පමණ රූපලාවන්‍ය උපකරණ අඩංගු බෑගයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සොයාගත හැකිවිය.
රූපලාවන්‍ය උපකරණ පමණක් නොව සිරුරේ අලේප කිරීම සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ග රාශියක් ද විය. පොඩි ලැසී විසින් තම කොණ්ඩා මෝස්තර සඳහා මෙම රූපලාවන්‍ය උපකරණ භාවිතා කොට ඇති බවද පැවසේ. ඒ විතරක් නොව පොඩි ලැසී බන්ධනාගාරය තුළදී කිලෝ 02ක් පමණ කේක්ගෙඩියක් කපා සිය උපන්දිනය සමරා ඇති බවද දැනගන්නට තිබේ.
පොඩි ලැසී නමැත්තා දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ යටතට පත්වීමත් සමග පොඩිලැසී ඇතුළු ඔහුගේ සහචරයන් කිරීමට ගිය සුවිශේෂී වූ ඝාතනයක තොරතුරු අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට හැකිවිය. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දෙවැනි චූදිතයා ලෙස අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා නම් කොට ඇත්තේය. එම නඩු විභාගයේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ මෙම කරුණු අනාවරණයක් කළේය.
පොඩි ලැසී, කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සාමාජිකයින් 11 දෙනාගේම සාමූහික කුමන්ත්‍රණයක් තිබිලා තියෙනවා යම් සුවිශේෂ ඝාතනයක් කරලා මොවුන් බලාපොරොත්තු වන සිහිනය සැබෑ කරගන්න. වෙලේ සුදාලා ඇතුළු මේ 11 දෙනාගේ ප්‍රකාශ අනුව ඒ සියල්ලගෙම හොඳ සැලසුමක් තිබිලා තියෙනවා මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. බන්ධනාගාර බස්රථයකට පහරදෙන්න සැලසුමක් තිබිලා තියෙනවා. ඒ ගැන සාක්ෂි අනාවරණය වෙලා තියෙනවා. බන්ධනාගාර බස් රථය ඉදිරියට ලොරි රථයක් ගෙනවිත් හරස් කරලා ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුමක් තිබිලා තියෙනවා. මේ සියල්ල සැලසුම් කරන්නේ බන්ධනාගාරය තුළ ඉඳන්. බන්ධනාගාරය තුළ ඉඳන් මෙච්චර දෙයක් සැලසුම් කරනවා නම් ඇප දුන්විට කොච්චර දෙයක් කරාවිද ඇප දීලා ගමට ගෙනවිත් දුන්නොත් හොඳට හිටීවි. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය ඉදිරියේ කරුණු අනාවරණය කළේය. ජනිත් නිශාන්ත හෙවත් තනි ඇටයා ඝාතනය කිරීමේ සැලසුමට අදාළ ට්‍රක්රථයක් කාර් රථයක් හා ස්වයංක්‍රීය පිස්තෝලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගනු ලැබීය. ට්‍රක් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ආඳාදොළ ප්‍රදේශයේ දී සොයාගෙන ඇති අතර කාර් රථය උණවටුණ ප්‍රදේශයේ තිබී සොයාගත් බැව් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති. කාර් රථය පොඩි ලැසී නමැත්තාට අයත් එකක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ස්වයංක්‍රීය පිස්තෝලය මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ දී සොයාගෙන ඇත.
පොඩි ලැසී නමැත්තා හා ඔහුගේ සහචරයින් විසින් තනිඇටයා නමැති පාතාල සාමාජිකයා ට්‍රක්රථය දමා බන්ධනාගාර බස් රථය හරස් කොට කාර් රථයකින් පැමිණ බන්ධනාගාර බස්රථයට ප්‍රහාරයක් එල්ලකොට තනි ඇටයා නැමති පාතාල සාමාජිකයා ඝාතනය කිරීමට සැලසුම් කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. තනි ඇටයා නමැති පාතාල සාමාජිකයා මනෝජ් මෙන්ඩිස්ගේ ගෝලයෙකි. පොඩි ලැසීගේ කල්ලිය විසින් මොහු දෙවතාවක් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කොට ඇතත් එය ව්‍යර්ථ වී තිබුණි. තම පියා ඝාතනය කිරීම නිසා පොඩි ලැසී නමැත්තා තනි ඇටයා සමග වෛරයෙන් පසුවන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී සැලසුම අනාවරණය කරගැනීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට සිදුවීමට ගිය මහත් විනාශයක්
වළක්වාගැනීමට හැකි වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පවසති.
සැබවින්ම පොඩි ලැසී ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. ඇතැමුන් පොඩි ලැසී නමැත්තාගේ නම ඇසූ විට භීතියෙන් ඇළලි යති. පොඩි ලැසී ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලැසීගේ පියා තෙල්වත්තේ වසන්ත නමැති අයෙකි. ලැසීගේ පියා ජීවතුන් අතර නොමැති අතර වෙනත් පාතාල කල්ලියක සාමාජිකයකු විසින් ඔහු වෙඩි තබා ඝාතනය කොට ඇත්තේය. ඒ කාලයේ ලැසීගේ පියා තෙල්වත්තේ සිටි චන්ඩියෙකි. පොඩි ලැසී පවුලේ බාල දරුවාය. ඔහුට එක් සහෝදරයකු සිටින අතර ඔහු ඩුබායි රටේ පදිංචිව සිටින්නේය. නිවසට විත් තම පියා ඝාතනය කරන විට පොඩිලැසී එවකට පුංචි කොලූ ගැටයෙකි. තම පියා මරු අයගෙන් පළිය ගන්නා බවට පොඩි ලැසී නිතරම පාහේ මුමුණමින් සිටියේය. ලැසීගේ මවද ඒ සඳහා ලැසීට දිරිය ශක්තිය ලබා දුන්නාය.
ටික දිනක් යනවිට පොඩි ලැසී පියා මෙන් එම ප්‍රදේශයේ චන්ඩියකු බවට පත්වන්නේය. තම පියා මැරූ අයගෙන් පළිගැනීම සඳහා අවස්ථාව එනතෙක් පොඩි ලැසී ඇඟිලි ගනිමින් සිටියේය. පියා ඝාතනය කරනු ලැබුවේ එවකට පාතාල කල්ලි සාමාජිකයකු වූ මනෝජ් මෙන්ඩිස් නමැත්තා බවට පොඩි ලැසී සැක කළේය. එහෙත් ඒ කාලයේ මනෝජ් මෙන්ඩිස්ට කිට්ටුවීමට තරම් පොඩි ලැසීට ශක්තියක් නොතිබුණි. පසුව පොඩි ලැසී මනෝජ් සමග හිතවත්වී ඔහුගේ ගෝලයකු බවට පත්වන්නේය. එහෙත් පොඩිලැසී මනෝජ් මෙන්ඩිස් සමග පසු වූයේ දැඩි වෛරයකිනි. ලෙයට ලෙයින් පළිගැනීමේ අවස්ථාව එනතෙක් පොඩිලැසී ඇඟිලි ගනිමින් සිටියේය. ඒ වනවිට පොඩිලැසීට යම් සහචරයන් පිරිසක් ද සිටියහ. 2015 වර්ෂයේ දි මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමත් සමග පොඩිලැසී පාතාලයේ නායකයකු බවට පත්වන්නේය. 2015 වර්ෂයට පෙර පාතාලය තුළ පොඩිලැසී එතරම් ජනප්‍රිය චරිතයක් නොවිය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයත් සමග පොඩිලැසී පාතාලය තුළ එක් රැයකින් ජනප්‍රිය තත්ත්වයට පත්විය.
පොඩිලැසී කාලයක් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිටයේය. පොඩිලැසීට බන්ධනාගාරය ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව තිබුණි. ඇප ලබා දුන්නද ඇප කොන්දේසි සපුරාලීමට පොඩිලැසීලා කටයුතු කළේ නැත. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග විශේෂ ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා තැබීමට කටයුතු කෙරිණි. එහි කොස්ගොඩ තාරක, කන්ජිපානි ඉම්රාන්, වෙලේසුදා, ඌරුජුවා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් සිටියහ. මේ අතරේ පොඩිලැසීලා කොස්ගොඩ තාරකලා ඇතුළු පිරිසක් පහසුකම් මදි බව පවසමින් බූස්ස බන්ධනාගාරය තුළ අහාර නොගෙන උපවාසයක් ආරම්භ කරනු ලැබීය. එහෙත් එම උපවාසය ද ලප්තැනම ලොප්විය.
මේ ගැන සොයාබැලීමට බූස්ස බන්ධනාගාරයට ගිය බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට හා සහකාර අධිකාරීවරුන් දෙදෙනකුට පොඩිලැසී, කොස්ගොඩ තාරක ඇතුළු පිරිස තර්ජනය කළහ. ඉන් නොනැවතුණු මෙම පාතාල සාමාජිකයින් පොලිස් නිලධාරීන් පිරිසකට මරණිය තර්ජනය කොට, ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයා මරාදමන බවට තර්ජනය කරනු ලැබීය. මේ සමග පොඩිලැසීට හා කොස්ගොඩ තාරකට එරෙහිව නඩු පැවරිණි.
ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දෙවැනි චූදිතයා ලෙස අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා නම් කරනු ලැබීය. පළමු චූදිතයා ලෙස කොස්ගොඩ තාරක නම් කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙකී තර්ජනය කිරීම පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකොට තිබුණි. ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය පැවැත්විණි. සැප්තැම්බර් මස 25 වැනි දින පැවති නඩු විභාගය සඳහා පොඩිලැසී ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ දැඩි ආරක්ෂක රැකවල් මැදය. කොණ්ඩා මොස්තරවලින් සැරසි සුදු ඇඳුම් ඇඳ සුදු සපත්තු ජෝඩුවක් පැළඳ පොඩිලැසී අධිකරණයට පැමිණ සිටියහ. එදින ලැසීට ඇප හිමි නොවිය. එනපොට හොඳ නැති බව දැනගත් පොඩිලැසීගේ අරමුණ වූයේ ඇප ලබාගැනීමය. ඊළඟ නඩු දිනයේ දී පොඩිලැසී වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරාන් වළලියද්ද මහතා පෙනී සිටියේය. මෙය ඇප දිය හැකි වරදක් බව ඔහු පුන පුනා අධිකරණය ඉදිරියේ කියා සිටියේය. අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ඇප ලබාදීමට දැඩි ලෙස විරුද්ධ විය. එදින ද පොඩිලැසීට ඇප ලැබුණේ නැත. නඩුව ඔක්තෝබර් මස 16 වැනි දින දක්වා කල්තබනු ලැබීය. එදින පොඩිලැසීට ඇප ලැබිය හැකි බවට ඔහුගේ සහචරයින් බලාපොරොත්තුවෙන් සිටියේය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසම් මගින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගත්තේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් හා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයින් සමග සම්බන්ධවෙමින් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සඳහා අවි ආයුධ රැස්කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් එම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මගින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම සහාසික ක්‍රියා සිදුකරමින් මෙම විත්තිකරු කටයුතු කර ඇති බැවින් 1979 අංක 48 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තාවකාලික විධිවිධාන යටතේ 09/01 වගන්තිය යටතේ මෙම රැඳවුම් නියෝගය ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමහේවා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොඩිලැසී ඇතුළු පාතාල සාමාජිකයින් ගැන සුවිශේෂි වූ අනාවරණයක් කළේය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ඝණයේ සැකකරුවන් පිරිසක් උපවාසයක් ආරම්භ කළා. ඒ ගැන සොයාබැලීමට ගිය බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට හා සහකාර අධිකාරිවරුන් දෙදෙනෙකුට හා මෙම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් පිරිසකට මරණීය තර්ජනය කළා. ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයා මරාදමන බවට පැහැදිලි තර්ජනයක් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් උපවාසයේ නිරත පාතාල අපරාධකරුවන් 11 දෙනෙකුගේ ප්‍රකාශ පසුගිය 02 වැනි දින සටහන් කළා. ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් සුවිශේෂ කරුණ වන්නේ මොවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංක දන්නේ නැහැ දුරකථන අංකය කියන්නේ නැහැ. ඩබ්ලිව් සංකශිරන්ත, එම්. ඉම්බාරාන්, චමින්ද දිල්රුක්, ප්‍රසාද් නුවන්, විශේන්ද්‍රම්, කුමාර සමරරත්න, ජානක ප්‍රසාද්, අමිල නුවන්, මෙලාන් මානව සමන්ත කුමාර යන අයගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. මෙම නඩුවේ පළමු හා දෙවැනි චූදිතයින් කුටියෙන් කුටියට ගිහින් තමයි උපවාසය සැලසුම් කරලා තියෙන්නේ. ආරක්ෂක ඇමැතිවරයාට හා ජනාධිපතිවරයාට කර තිබෙන මෙම තර්ජනය විහිළුවක් ලෙස හා සුළුවෙන් තකන්න බැහැ. පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනයට රාජ්‍ය නායකත්වය මෙහෙයුමක් සිදුකරද්දී බන්ධනාගාරගතව සිටින මොවුන් මේ අයුරින් කටයුතු කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයක්. මේවා මර්දනය කරන නිසා මොවුන්ගේ මරාගෙන මැරෙන සැලසුමක් තිබිලා තියෙනවා. පසුගිය 25 වැනිදා මෙම නඩුවේ දෙවැනි සැකකරු වන පොඩිලැසී නමැත්තා රැඳවුම් නියෝගයක් ලබාගෙන අපරාධ පරීක්ෂණ බාරයට ගැනීමට ඉල්ලීමක් කළා. දැනට ඔහු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද මහතා-
ඇප ඉල්ලීමක් තමයි කරන්නේ. මේ නඩුවට අනුව ඇප ලබාදෙන්න පුළුවන්. ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට තර්ජනය කරලා නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා-
ස්වාමිනී, මේක තර්ජනය කිරීම සම්බන්ධව පමණක් නොවේ සංවිධානාත්මකව විශාල ව්‍යසනයක් කරන්න සැලසුම් කරපු පුද්ගලයකුගේ නඩු කෘත්‍යයක්. දැනට මොහු ඉන්නේ දින 90ක රැඳවුම් නියෝගයක් මත. බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කරලා ඔවුන් ඝාතනය කිරීමට සැලසුම් හදන්නේ මොහු. මොවුන්ගේ සහචරයින් එළියේ ඉන්නේ. තවම විමර්ශන කටයුතු අවසන් නැහැ. ඒ නිසා ඇප ලබානොදෙන ලෙස ඉල්ලා සිටිනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා-
ස්වාමිනී මෙම නඩුවට ඉතිහාසයක් තියෙනවා. මෙතුමාගේ වර්තමාන සේවාදායකයා ඉතා යටහත්පහත්ව තමයි අධිකරණයට ආවේ. සුදු ඇඳුම් ඇඳගෙන සුදු සපත්තු දමාගෙන සංගීත ප්‍රසංගයකට එනවා වගේ ආවේ. කඳුළු සලමින් හිටියේ.
ජනාධිපති නිතිඥ ටිරන්ත වළලියද්ද මහතා-
පොඩිලැසී කියන පුද්ගලයා ඔබතුමට වැඳලා කීවා ජනාධිපතිවරයාට එහෙම දෙයක් කිවේ නැහැ කියලා. මොනවාද මේ කියන කථා. මේ වගේ වියතුන්ගෙන් මහජනතාව අපහසුතාවයට ලක්වෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා-
මේ අය නැති දවසට මහජනතාව කිරිබත් කනවා.
ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද මහතා-
මෙම නඩුවේ චෝදනා දෙකයි තියෙන්නේ රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම, රාජකාරියට බාධාකිරීම. මේ සඳහා ඇප දෙන්න පුළුවන්. මෙම සැකකරුට තියෙන නඩු තුනට අදාළව ඇපදීලා තියෙනවා. මෙම සැකකරු බලපිටිය අධිකරණයට රැගෙන යනවිට බී වාර්තාවක් දමලා ජනාධිපතිතුමාට තර්ජනය කළා කියලා කීවා. මොහු යළි පත්වුණේ සී.අයි.ඞී. භාරයට. ස්වාමිනී මම ඔබතුමාගේ අවධානය යොමුකරනවා බී වාර්තාව හා කටඋත්තරය එහි එක තැනකවත් කියලා නැහැ මෙම සැකකරු විසින් ජනාධිපතිතුමා මරනවා කියලා. ජනාධිපතිතුමාට භය නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. එක නඩුවක් දමලා තියෙනවාද මෙම විත්තිකරුට එරෙහිව. රඳවා ගැනීමේ නියෝගය මෙම නඩුවට අදාළ නැහැ. ඇපදීමට එය බාධාවක් නැහැ. ආන්දෝලනයක් තියෙනවා කියලා මහජනතාවගේ ඇස්වලට දුවිලි ගහන්න හදන්නේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා-
ස්වාමිනී මෙම නඩුවට ඉතිහාසයක් තියෙනවා. පැමිණිල්ල වෙනුවෙන් 2020.09.08.වැනි දින එදින සාක්ෂි සම්පිණ්්ඩනයන් 19ක් සමග බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද මුල් පැමිණිල්ල මත කරුණු වාර්තා කළා. බී වාර්තාවේ 04 වැනි සාක්ෂිකරුගේ සාක්ෂි සම්පින්ඩනයේ සඳහන් වෙනවා. උඩුවර මහතා වෙත සැකකරු දබර ඇඟිල්ල දිගුකරමින් ඉතා තර්ජනාත්මක ලෙස ඔවුන් ඉල්ලන නිදහස ලබා නුදුනහොත් ඕනෑම කෙනෙකු මරාදැමීමට පසුබට නොවන බව ඔහුට අවශ්‍ය නම් පැය දෙකක් ඇතුළත ඒ මහතාගේ ගෙදරට වෙඩිතබා පෙන්විය හැකි බවත්, ජනාධිපතිවරයා ඉන්නේ අවුරුදු 05ක් බවත් ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට භය නැති බවත් පුළුවන් නම් ආරක්ෂක ලේකම්වරයාට එහි පැමිණෙන ලෙසත් ප්‍රකාශ කරලා තියෙනවා. අංක 07 සාක්ෂිකරු කියලා තියෙනවා. බන්ධනාගාර කොමසාරිස් මට අදාළ නැහැ. එස්පීලා ඒ.එස්.පීලා මට අදාළ නැහැ. මට හිතුනොත් ඔක්කොම අය මරනවා. ගෝඨාභයලා ආරක්ෂක ලේකම්ලා තව අවුරුදු 03යි ඉන්නේ ඊට පසු බලාගමු. ඊට පසු බලාගන්නේ නෑගම් යන්නද ස්වාමිනී.
ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද මහතා-
ඡන්දය දෙන්න.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා-
මේ වගේ හුරතල් කරලා තමයි කීර්තිමත් විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතා සහ එතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියයි එතුමා නඩුපොත ගන්න කාර් රථයට ගොඩවෙද්දි ඝාතනය කළේ. මහාධිකරණ විනිසුරුවරයකු ඝාතනය කිරීමට තරම් පාතාලය ප්‍රබල වුණා. එවැනි පසුබිමක තමයි පාතාලය මර්දනය කරලා තියෙන්නේ. මෙම සැකකරුට එරෙහිව බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ, මහාධිකරණයේ ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ, මහාධිකරණයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ගණනාවක් තියෙනවා. බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ තියෙන අවසාන නඩුව තමයි 7373 ඒ නඩුවට අදාළව තමයි අභියාචනාධිකරණයට ගොස් ඇප ගත්තේ. ඇප තියන්නේ නැහැ. මේ අය බන්ධනාගාරය තුළ රාජ්‍ය ආරක්ෂාව සහිතව මේ අයගේ අපරාධ රාජකාරි කරගන්න පහසුයි. ඒ නිසා ඇප ගන්නේ නැතිව හිටියා. 17 වැනිදා ගිහින් මේ නඩුවට අදාළව ඇප ඉල්ලූවා. කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග එකතුවෙලා දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම බෙදාහරින්නේ පොඩිලැසී කියන පුද්ගලයා කටයුතු කරලා තියෙනවා. මේ වනවිට සොයාගෙන තියෙනවා ටී. 56 ගිනි අවි 02කුයි මැගසින් 05යි. පිස්තෝල 03යි මිලිමිටර් 99 ජීව උණ්ඩ 40යි, ටී. 56 උණ්ඩ 81ක් හෙරොයින් කිලෝග්‍රැම් 11 ග්‍රෑම් 888ක් සොයාගෙන තියෙනවා. අපි අධිකරණයට අභියෝගයක් කරලා නැහැ. පොඩිලැසී කියන පුද්ගලයා කියලා තියෙනවා එස්.ටී.එෆ්. ලොක්කා දැනුත් බන්ධනාගාර ලොක්කා සමග මීටින් එකක ඉන්නේ. එස්.ටී.එෆ්. එකේ අයට ටී. 56 ගහලා වැඩක් නැහැ. උන් නිකන් එන්නේ නැහැ අනිවාර්යෙන්ම අත්බෝම්බ් 04ක් 15ක් ගහලා මරාගෙන මැරෙන්න ඕන. ටී. 56න් වැඩක් නැහැ. එස් ටී එෆ් ලොක්කාටත් ගහන්න ඕන එහෙම වුණොත් මගේ නම ඉතිහාස ගතවේවි පොඩිලැසී හා කොස්ගොඩ තාරක කථාවෙනවා ඇහුනා කියලා 14 වැනි සාක්ෂිකරු කියලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට තවමත් තර්ජන තියෙනවා. රැඳවුම් නියෝගය හා මේ නඩුව දෙකක්. ස්වාමිනි ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිනවා.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් දශලක්ෂය බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදාහැරීමට නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට ලබාගෙන ඇති දින 90 රැඳවුම් නියෝගය ක්‍රියාත්මක වන බව සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රැඳවුම් නියෝගවලින් පසු මෙකී සැකකරු සතියේ සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය. එමෙන්ම එක් ඇපකරුවකු සෑම නඩු දිනයකම අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, පොලිස් පරීක්ෂක පොල්වත්ත යන මහත්වරුන් පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද මහතා සමග නිමල් රණවක, පුෂ්පකුමාර අමුගොඩ, අකලංක උක්වත්ත, හර්ෂිකා සමරනායක, හරින්දි කොරයා, ජිනාලි පාගොඩආරච්චි, අමා ජයවර්ධන, ඉනිකා හෙන්ද්‍රිවිතාන සහ නිෆ්රාස් නසීර් යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
ලලිත් චාමින්ද
ඉරිදා දිවයින