මේ සමඟ පළ වී ඇති ඡායාරූප දෙස බලන වාහන ගැන උනන්දුව දක්වන ඕනෑම කෙනකු පුදුමයට පත්වනු නිසැකය. එමෙන්ම කිසිවකු මෙවැනි වාහන මහා මාර්ගවල දැක නැතුවාටද සැකයක් නැත. මෙම අපූරු අසාමාන්‍ය වාහන එකතුවෙහි හිමිකරුවා වන්නේ හමාද් බින් හම්දාන් අල් නාහ්යාන් නමැත්තෙකි.
ඔහු එසේ මෙසේ පුද්ගලයකු නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අබුඩාබිහි ජීවත් වන ධන කුවේරයෙකි. හමාද්ගේ ප්‍රධාන විනෝදාංශයක් වන්නේ මෙවැනි දැවැන්ත වාහන නිර්මාණය කිරීම සහ එකතු කිරීමයි. මෙම බොහෝ වාහනවල රෝදයක් පවා සාමාන්‍ය මිනිසකුමෙන් දෙගුණයක් පමණ උස බව ඇසුවහොත් ඔබ තවදුරටත් පුදුමයට පත් වනු ඇත. මෙහි ඇති සමහර වාහන ගැනෙන්නේ කැරවෑන් වර්ගයටයි.
ඒවා තවත් වාහනයක් විසින් ඇදගෙන යනු ලබන ඒවායි. එම කැරවෑන්වල ඉතා සුඛෝපභෝගී නිදන කාමර, නාන කාමර ආදිය පවා දැකිය හැකිවේ. මෙහි ඇති ලෝක ගෝලයක හැඩයට තැනූ කැරවෑනය ඊට නිදසුනකි. එහි සුඛෝපභෝගී නිදන කාමර 9ක්, සාලයක් සහ නාන කාමර 9ක් ඇති බැව් සඳහන්ය. මෙහි ඇති නිවෙසක හැඩය ගත් කැරවෑනය ලොව ඇති ඒ ආකාරයේ ලොකුම කැරවෑනය ලෙස සැලකේ.
දැවැන්ත රෝද අටේ, දහයේ වාහනද කිහිපයක්ම හමාද් බින් හම්දාන්ගේ් වාහන එකතුවෙහි දැකිය හැකි වේ. ලෝකයේ ලොකුම ට්‍රක් රථයේ අයිතිකාරයාද හමාද් බින් හම්දාන්ය. එතුළද නිදන කාමර 4ක් ඇති බව කියැවේ. මෙම සමහර වාහන ගිනස් ලෝක වාර්තා පොතටද එක් වී තිබේ. කෙසේ වෙතත් මෙම වාහන කෙතරම් විශාලද කියතොත් ඒවා බොහොමයක් මාර්ගවල ධාවනය කිරීමට නොහැකිය. ඒ නිසා ඒවා ධාවනය වන්නේ කාන්තාරයේ බව සඳහන්ය.
මෙම දැවැන්ත වාහන නිර්මාණය කිරීමේදී හමාද් අනුගමනය කරන කොන්දේසි තුනක් තිබේ. එකක් නම් ඒවා මෙතෙක් කොහේවත් දක්නට නොලැබුණු අලුත්ම ආකාරයේ ඒවා විය යුතු බවයි. දෙවැන්න නම් ඒවා අධි සුඛෝපභෝගී වාහන මෙන් මිල අධික ඒවා නොවිය යුතුය යන්නයි. තුන්වැන්න නම් ඒවා හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩ නොව ධාවනය කළ හැකි ඒවා විය යුතු බවයි. ඔහුගේ වාහන එකතුවෙහි වාහන සිය ගණනක් ඇති බවද සඳහන් වේ.
මෙම වාහන දෙස බලන ඕනෑම කෙනකු තුළ නැඟිය හැකි පැනයක් වන්නේ මෙවැනි නිර්මාණ කිරීම සඳහා හමාද්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද යන්නය. හමාද් බින් හම්දාන් යනු අබුඩාබිහි සිටින ධනවත්ම පවුලක සාමාජිකයෙකි. අබුඩාබි පාලනය කරන්නේද එම පවුලේ අය බව සඳහන්ය.
මෙම පවුල අබුඩාබිහි තෙල් කර්මාන්තයට සම්බන්ධ පවුලකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සමස්ත තෙල් ප්‍රමාණයෙන් සියයට 95ක්ම ඇත්තේ අබුඩාබිහිය. තෙල් ව්‍යාපාරයෙන් හමාද් බින් හම්දාන්ගේ පවුල බිලියන ගණනින් මුදල් උපයයි. මෙයට කලකට පෙර පළ වී තිබූ සංඛ්‍යාලේඛනවලට අනුව ඔහුගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 20කි. එය ලංකාවේ මුදලින් රුපියල් බිලියන 3,700කට ආසන්නය. හමාද් වාසය කරන්නේ දැවැන්ත මාලිගයක බවද සඳහන් වේ.
ඔහුගේ අපූරු නිර්මාණවලට අයත් වන්නේ වාහන පමණක් නොවේ 2011 වසරේ ඔහු තවත් අමුතුම නිර්මාණයක් එළිදක්වා තිබිණි. එය නිම කර තිබුණේ ඔහුට අයත් පෞද්ගලික දූපතකය. එම දූපත් බිමෙහි ඔහු තම නම දැවැන්ත ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර එය කෙතරම් විශාලද යත් අභ්‍යවකාශයේ සිට පවා එය දැකගත හැකි බව පැවැසේ. හමාද් යනුවෙන් ඉංග්‍රිසියෙන් ලියා ඇති මෙම නමෙහි එක් අකුරක උස මීටර 1000ක් හෙවත් කිලෝමීටරයකි. එහි මුල් අකුරේ සිට අවසන් අකුර දක්වා දුර සැතපුම් 2ක් බවද සඳහන්ය. මේ සියල්ල තුළින් පෙනෙන්නේ හමාද් හම්දාන් යනු දැවැන්ත බවට ආදරය කරන දැවැන්ත චරිතයක් බව නොවේද?
සනත් වික්‍රමගේ
මව්බිම