පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය මේ වනවිට මහරගම - පමුණුව ප්‍රදේශයේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඊයේ දිනයේදී දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගිය අතර ඉන් අනතුරුවයි ඥාති නිවස වෙත රැගෙන ගොස් ඇත්තේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසටයි.
මධුෂ්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය වෙත ඊයේ පැමිණ සිටි අතර, ඒ හේතුවෙනුයි අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබුණේ.
මියගිය මාකඳුරේ මධූෂ්ගේ උපන් ගම කඹුරුපිටිය - ගතාරේ ප්‍රදේශයේ වන අතර, ඊයේ දිනයේදී ඇතැම් වාර්තා පළ කර තිබුණේ දේහය මාතරට රැගෙන යන බවයි.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාකඳුරේ මධුෂ් පිළිබඳව සටහනක් තබා තිබෙනවා.
පොලිස් අපරාධ ඉතිහාස ලේඛනවල මධුෂ් නැමති නම ප්‍රථමයෙන් සටහන් කිරීම සිදුකළේ තමන් බවත්, ඒ වනවිට මධුෂ් තුන්වන පන්තියේ කොල්ලකරුවෙකු වන බවයි ඔහු තැබූ සටහනේ දැක්වන්නේ.