මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව කොග්ගල සංචාරක හෝටලයක පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක කාලයක් නිරෝධායනය වූ පිරිසක් පිටව යාමට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඉන් 24 දෙනෙකු කොරෝනා රෝගීන් බවට අද තහවුරු වී තිබෙනවා.
මොවුන් අයි.ඩී.එච් රෝහලට යැවීමට කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ.
එමෙන්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 02යි මාස 04ක් වයසැති දැරියකට සහ ඇගේ දෙමාපියන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මොවුන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් පසුගිය 18 වනදා මෙම දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදි මොවුන්ට වෙන්කර ප්‍රතිකාර සිදුකළ බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේ.
කොළඹ නැව් තටාකාංගණයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහි ප්‍රධාන වාණිජ නිලධාරී බෙනී ෆනෑන්ඩු සඳහන් කළේ එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සහ පවුල්වල පිරිස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.
එමෙන්ම කොළඹ නැව් තටාකාංගණයෙන් හඳුනාගත් කොරෝනා රෝගියෙකු රත්නපුර ඇලපාත, ගගුල්විටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට ද සහභාගි වී ඇති බවට වාර්තා වීමත් සමඟ පවුල් 21කට අයත් 98 දෙනෙකු අද නිරෝධායනය කරා යොමුකළ බව අප වාර්තාකරු සඳහන් කළා.
මේ අතර, කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු හඳුනාගෙන ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි කියා සිටියා.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන්කළ ඇඳන් 2400න් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 200ක පමණ සංඛ්‍යාවක් බවයි.
එමෙන්ම කඨින පිංකම් පිළිබඳ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රජයේ නිරෝධායන නීතිරිති හා වෛද්‍ය උපදෙස් අනුව සෑම විහාරස්ථානයකම භික්ෂුන් වහන්සේලා සහ දායකයන් සීමාකොට මෙම පිංකම් ලබන මස 29 වනදාට යෙදෙන ඉල් පොහාය තෙක් පැවැත්විය හැකි බවයි එහි දැක්වෙන්නේ.