සිය චරිතාපදානය ඇතුළත් 800 නැමති කොලිවුඩ් පුරයේ දෙමළ චිත්‍රපටයට තමිල්නාඩු දේශපාලනඥයන්ගෙන් එල්ලවන විරෝධය හමුවේ ක්‍රිකට් ලොවේ සදාතනික විශිෂ්ඨයෙකු වන මුත්තයියා මුරලිදරන් විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.
තමිල්නාඩු විරෝධය මතුවන්නේ මුරලිදරන් 2009 වසරේ මෙරට යුද්ධය නිමවීමත් සමඟ සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින්.
එය තම ජීවිතයේ සතුටුදායකම දිනය ලෙසයි මුරලිදරන් හැඳින්වූයේ.
එහෙත් එමඟින් මෙරට යුද්ධයේදී දෙමළ සිවිල් ජනතාව ඝාතනයට ලක්වීම ඔහු අනුමත කළේ යැයි පවසමින් 800 චිත්‍රපටයට මෙන්ම එහි ශිල්පීන්ටද තමිල්නාඩු දේශපාලනඥයන්ගේ විරෝධය පළවනවා.
ඔවුන් එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය නිරූපණය කරන විජය සේතුපතිට ඉන් ඉවත්වන ලෙසද බලපෑම් කරන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ඊට දෙමළ බසින් පිළිතුරු ඉදිරිපත් කරමින් මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළේ තමා කිසිවිටක අහිංසක දමිල ජනතාව ඝාතනයට ලක්වීම සාධාරණීකරණය නොකළ බවයි.
යුද්ධයේ අවසානය සහ දෙපාර්ශවයේම ජීවිත හානි නතරවීම තමා සතුට පළ කිරීමට හේතුව ලෙස ප්‍රකාශ කළ බවයි මුරලි කියා සිටියේ.
එය ඇතමුන් වැරදි ලෙස අර්ථකථනය කර තිබෙනවා.
තම ජීවිත කාලය තුළ ජීවිත හානි අනුමත නොකළ අතර, ඉදිරියටත් එසේ නොකරන බව මුරලිදරන් සිය ලිපියෙන් අවධාරණය කළා.
යුද්ධය පැවති වසර 30 කට වැඩි කාලයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ජීවිතය ගොඩනැගූ තමන් යුද්ධයේ වේදනාව හොඳින් හඳුනන බවත් මුරලි කියා සිටියා. වතු කම්කරුවන් ලෙස ජීවිතය ආරම්භ කළ තම පවුලේ සාමාජිකයන් දෙමළ ජනතාවට එරෙහි ප්‍රචන්ඩත්වයෙන් මෙන්ම යුද්ධයෙන් බැටකෑ පුද්ගලයන් ලෙසයි ඔහු හැඳින්වූයේ.
තමා සත් හැවිරිදි වියේදී පියා ප්‍රහාරයකට ලක්වූ අතර, වීථියට පිවිසීමට සිදුවූ අවස්ථා රැසක් උදාවූ බවද ඔහු සිහිපත් කළා.
දෙමළ බස කථා නොකරන බවට එල්ලවන චෝදනාවලට පිළිතුරු වශයෙන් මුරලි කියා සිටියේ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ තමාට හොඳින් දෙමළ බස හැසිරවිය හැකි බවයි.
සුළු ජාතියක් වන දෙමළ ජන කොටස නියෝජනය කරන්නෙකු ලෙස හීනමානයකින් පෙළුනු තමන් එය ජයගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අවස්ථාවක් ලබාගැනීමට සමත්වූ බව මුරලිදරන් සඳහන් කළා.
මෙරට දෙමළ ජනතාව වෙනුවෙන් තමාගේ දායකත්වය පිළිබඳ උතුරේ ජනතාව දැනුවත් බව පැවසූ මුරලිදරන්, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ සම්මානනීය තානාපතිවරයෙකු ලෙස 2002 වසරේදී සහ 2004 සුනාමි උවදුරේදී එවකට එල්.ටී.ටී.ඊ. පාලනය පැවති ප්‍රදේශවල පාසල් ළමයින් වෙනුවෙන් තමා සිදුකළ මෙහෙවර සිහිපත් කළා.
මුරලිදරන්ගේ චරිතාපදානය රැගත් දමිල චිත්‍රපටය 800 ලෙස නම් කර ඇත්තේ ඔහු ලබාගත් වාර්තාගත ටෙස්ට් කඩුලු 800 සළකුණු කරමින්. එම චිත්‍රපටයේ මුරලිගේ චරිතය නිරූපණය කරන විජේ සේතුපති දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන අතර, එම්.එස්. ශ්‍රීපති විසින් තිර රචනය සිදුකර ඇත්තේ සම්මානනීය කතුවර ෂෙහාන් කරුණාතිලකගේ නව කථාවක් ආශ්‍රයෙන්.