චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ටෙනී ගැන කියූ කතාව
ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අද(28) ජීවිත රඟමඬලෙන් සමුගත්තා.
කොළඹ ජාතික රෝහලේදී අද දහවල් අභාවප්‍රාප්ත වූ ඔහු මිය යනවිට 68 වන වියේ පසුවුණා.
1952 වසරේදී මොරටුව ප්‍රදේශයේ උපත ලද ටෙනිසන් කුරේ මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙක්. 1984 වසරේ සිනමා තිර පිටපත් රචනය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සමග තම වෘත්තීය ජීවිතය ආරම්භ කළා.
රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලිං, සොමි බෝයිස්, කොලොම්පූර්, වැඩබැරි ටාසන් හා පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු චිත්‍රපට 150 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ සිනමාවට පිවිසුණේ 1986 වසරේ තිරගත වූ පෙරළිකාරයෝ චිත්‍රපටයෙන්.
කෙසේ වෙතත්, ඔහු මුලින්ම රඟ පෑ චිත්‍රපටය වූයේ දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ නොම්මර 1 යි චිත්‍රපටයයි.
හිරු හිතක මතක වැඩසටහනට ද ටෙනිසන් කුරේ පසුගියදා එක්වුණා.
රංගනයෙන් මෙන්ම චිත්‍රපට හා වේදිකා නාට්‍යය රැසකට අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් ද ටෙනිසන් කුරේ දායකත්වය සපයා තිබෙනවා. එමෙන්ම, ගායකයෙකු හා පද රචකයෙකු ලෙස ද ඔහු දක්ෂතා දක්වා ඇති ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ටෙනිසන් කුරේ පසුගිය සෙනසුරාදා රෝගාතුර වීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ දියණිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, අභාවප්‍රාප්ත රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඔක්තෝම්බර් පළවන බ්‍රහස්පතින්දා පස්වරු 4 ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදුකෙරෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.