එමෙන්ම රත්මලානේ රොහාගේ මරණය සැමරීමට සූදානම් වූ කුඩු අංජුගේ සොහොයුරිය ඇතුළු 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලීසිය සඳහන් කළේ මීට පෙර රත්මලානේ රොහා විසින් ඝාතනය කරන ලද කුඩු අංජුගේ සොහොයුරු වන ලන්සියාගේ දෙහිවල ගල්කිස්ස නගර සභා පොදු සුසාන භූමියේ පිහිටි සොහොනට ඩ්රෝන යානාවක් උපයෝගී කරගෙන මල් ඉසීමට සූදානම් කිරීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
අදාළ ඩ්රෝන යානයේ මල් ඉසීම සඳහා වෙනම කොටසක්ද සකසා තිබී ඇති අතර, එයද මේ වනවිට දෙහිවල පොලීසිය භාරයට ගෙන තිබෙනවා. අදාළ සොහොන ඊයේ දිනයේදී මල්වලින් සරසා තිබූ බව ද පොලීසිය සඳහන් කළා.
රත්මලානේ රොහාගේ මරණයෙන් පසු සතුට සමරන ලෙසට කුඩු අංජු සිය ෆේස්බුක් ගිණුමෙහි පසුගියදා සඳහන් කර තිබුණා.
එමෙන්ම රොහාගේ මරණය සැමරීමට කටයුතු කරන්නන්ට නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට ආරක්ෂක ලේකම්වරයා ඊයේ උපදෙස් ලබාදුන් බවද බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළා.
මේ අතර අනුරාධපුර - ඉපලෝගම පොලිසිය සහ යුද හමුදා බුද්ධි අංශ එක්ව ඉපලෝගම ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු ඇතුලු තුන්දෙනෙකු හෙරොයින් ග්රෑම් 3 කට වැඩි ප්රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගත් බවයි ඉපලෝගම පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම පෑලියගොඩ ප්රදේශයේ කේරළ ගංජා බෙදාහැරීමේ ජාලයකට සම්බන්ධ හයදෙනෙකු පෑලියගොඩ පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මොහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 40 යි ග්රෑම් 500 ක් සොයාගත් බවයි.
මොවුන් කළක් තිස්සේ ජාවාරම සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
මීට අමතරව මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අකුරැස්ස - පරදූව ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොක්අඩිචෝලේ ප්රදේශයේ කැලෑබද ප්රදේශයක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබුණා.