ආදරය, ගරුත්වය, විශ්වාසයෙන් පමණක් නොව ආකල්ප වෙනස් කරගැනීමෙන් ද බොහෝ දේ ජයගත හැක බව තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක් වූ ලබන වසරේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට සිටින දැරියකට පාසලෙන් අපූරු ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
"ආකල්ප වෙනසට දේ බොහෝ දිනිය හැකිය. ආදරය,ගරුත්වය,විශ්වාසය විතරක් නෙවෙයි ආකල්ප වලට රට වගේම ලෝකයත් දිනන්න,දිනවන්න පුලුවන්. මේ යහපත් ආකල්ප වෙනසකට අවැසි කාලය වගේම මෙවැනි ආකල්පමය වෙනසකට ස්වභාව ධර්මයම බොහෝ දුර ගමනක් හිමිකර දෙන බව මට විශ්වාසයි. #ජයගමු..."
ලබන වසරේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට සිටින දැරියකට පාසලෙන් අපූරු ලිපියක් ලැබී තිබුණා.
ගලෙන්බිඳුණුවැව - ආසිරිගම - නාමල්පුර ප්‍රදේශයේ පදිංචි දැරියකට මෙම ලිපිය යොමුකර ඇත්තේ කැකිරාව - පළුගස්දමන - පුස්දිවුල්වැව විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ජී.එස්.ඒ. බණ්ඩාරයි.
සමාජ මාධ්‍යට එක්වුණු මෙම ලිපිය ගැන අපි අවධානය යොමු කළේ ඒ තුළ සැඟවුණු සොඳුරු කතාවක් බලාපොරොත්තුවෙන් නොවේ.
පාසල්වල පළමු ශ්‍රේණියට තම දරුවා ඇතුල් කිරීම සඳහා දෙමව්පියන් අතර අදටත් පවතින්නේ දැඩි තරඟයක්.
ඒ සඳහා අල්ලස් ලබාගන්නා විදුහල්පතිවරුන්ද නැතුවාම නොවේ.
එවැනි වකවානුවක පාසලට ඇතුළත්වීමට නියමිත දරුවන් වෙනුවෙන් මෙවන් ලිපියක් යොමුකළ කැකිරාව - පළුගස්දමන - පුස්දිවුල්වැව විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ජී.එස්.ඒ. බණ්ඩාරගෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊට හේතු විමසා සිටියා.
ඔහු කියා සිටියේ ඉතා දුෂ්කර පාසලට දරුවන් ආකර්ශනය කර ගැනීම සඳහා මෙලෙස කටයුතු කළ බවයි.
අති දුෂ්කර පාසලක් වන මෙහි ළමයින් 118 දෙනෙකු ඉගෙනුම ලබනවා.
මෙවර එහි පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී තිබුණේ දරුවන් 11 දෙනෙකු වෙනුවෙන් පමණයි.
විදුහල්පතිවරයා මාතලේ - නාවුල සිට යතුරුපැදියෙන් පාසලට පැමිණෙන්නේ කිලෝමීටර් 70ක් දුර ගෙවමින්. යාමට ඒමට කිලෝමීටර් 140 ක්.
මෙය සීමිත දරු පිරිසකට සොඳුරු පාසලක් බිහි කරන්නට දරන පුංචි උත්සාහයක් වූවත්, එහි අගය වඩා වටින්නේ දරුවන් වෙනුවෙන් ජනප්‍රිය පාසල් සොයන්නට යන තරඟය අද බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබීම නිසාවෙන්.
පංති පහේ පාසලකට අයදුම්පත් දහස් ගණනක් ලැබෙන සමාජයක දරුවන් වෙනුවෙන් බලා සිටින පාසල් තවත් කොපමණ මේ රටේ විසිරී ඇත්ද ?